CSE විසින් මෙහෙයවනු ලැබූ විකල්ප ආයෝජන මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ සංසදය

    August, 15, 2024

    කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් “ධනය උත්පාදනය සහ විවිධාංගීකරණය සඳහා අවස්ථා බිහි කිරීම” යන මැයෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලදි. සාම්ප්‍රදායික කොටස් ආයෝජන සමඟ සලකා බැලිය හැකි, කොළඹ කොටස් හුවමාරුවේ පවතින විවිධ විකල්ප ආයෝජන මාර්ග සහ මෙම නිෂ්පාදන මඟින් ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය පිළිබඳව ආයෝජකයින් දැනුවත් කිරීම මෙම සංසදයේ මූලික අරමුණ විය.

    160කට අධික පිරිසක් මීට සහභාගී වූ අතර මෙම සුවිශේෂී අවස්ථාවට ආයතනික ආයෝජකයින්, අධික ධනයක් හිමි පුද්ගලයින්, ප්‍රාථමික අලෙවිකරුවන්, අරමුදල් කළමනාකරුවන් සහ ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමූහයක් සහභාගී වුහ.

    ආරම්භයේදී අදහස් දක්වමින් CSE සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා ප්‍රකාශ කළේ, "ඉතිහාසයේ සිට කොළඹ කොටස් හුවමාරුවේ අවධානය යොමුව පැවතියේ කොටස් සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, වත්මන් සහ පෙර සිටි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා සභාපතිවරුන්ගේ දූරදර්ශීභාවය හේතුවෙන් නිෂ්පාදන සංවර්ධනය සඳහා වූ ඒකාබද්ධ කමිටුවක් විසින් කොටස් ණයට ගැනීම සහ ණයට දීම, හිඟ විකුණුම්, සහ හරිත සහ නීල බැඳුම්කර ඇතුළත් තිරසාර බැඳුම්කර වැනි නිෂ්පාදන හඳුන්වා දෙන ලදී. මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවෙන් සැලකිය යුතු ප්‍රාග්ධනයක් ආකර්ෂණය කර ගැනීම සඳහා අපි යටිතල පහසුකම් බැඳුම්කර සහ ඉස්ලාමීය මූල්‍ය නිෂ්පාදන ද හඳුන්වා දුන්නෙමු.

    සහභාගිවන්නන් අමතමින්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ෆයිසාල් සාලි මහතා මෙසේ සිය අදහස් දැක්වුවේය. “තිරසාරභාවයට සම්බන්ධ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කිරීම මඟින් අරමුණු කෙරෙන්නේ විනිවිදභාවය සහ ගෝලීය ප්‍රමිතීන්ට ප්‍රමුඛත්වය ලබා දෙන පාරිසරික සමාජීය සහ පාලන සාධක පිළිබඳ දැනුවත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමයි. මීට අමතරව, ඒකාබද්ධ කමිටුව විසින් ඉහළ ශ්‍රේණියේ සාංගමික ණය වෙළඳාම ඉදිරියට ගෙන යන අතර, සමාජ බැඳුම්කර ඇතුළත් වන තිරසාර බැඳුම්කර ව්‍යාප්ත කිරීම කොළඹ කොටස් හුවමාරුවෙහි  ව්‍යුත්පන්න සහ අවදානම් ආරක්ෂණ උපකරණ වැනි නව නිෂ්පාදන සඳහා මග පාදමින් මධ්‍යම ප්‍රතිපාක්ෂික පද්ධතියක් (CCP) ස්ථාපිත කිරීම යනාදිය ද සිදු කරයි.

    මෙම අවස්ථාවට වටිනා ඉදිරිපත් කිරීම් රැසක් ඇතුළත් විය.

    • “කොටස් ණයට ගැනීම සහ ණයට දීම සහ නියාමනය කරන ලද හිඟ විකුණුම් ගවේෂණය කිරීම: ආයෝජකයින් සඳහා ප්‍රතිලාභ” යන මැයෙන් ලීනියර් වෙල්ත් මැනේජ්මන්ට්, කොටස් ප්‍රධානී අසංක හේරත් මහතා විසින් කළ ඉදිරිපත් කිරීම
    • "සාම්ප්‍රදායික ස්ථාවර අනුපාත ආයෝජන සඳහා සාංගමික බැඳුම්කර ආකර්ශනීය විකල්පයක් වන්නේ ඇයි සහ හරිත/තිරසාර බැඳුම්කර නිකුත් කිරීම් සඳහා ආයෝජනය කිරීමේ තාර්කිකත්වය” යන මාතෘකාව ඔස්සේ සීමාසහිත NDB වෙල්ත් මැනේජ්මන්ට් ප්‍රධාන ආයෝජන නිලධාරී වින්ද්‍යා ජයසේකර මෙනවිය විසින් කළ ඉදිරිපත් කිරීම
    • " ශ්‍රී ලංකාවේ ෂරියා නීතියට අනුකූල ණය සුරැකුම්පත් සඳහා වන ආයෝජන පරිසරය ඇගයීම - ආයෝජකයින් සඳහා අවස්ථාවක්" යන මැයෙන් ADL කැපිටල් ලිමිටඩ් ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ඉෂ්රාත් රවූ‌ෆ් මහතා විසින් කළ ඉදිරිපත් කිරීම

    මෙම සංසදයේ කැපී පෙනෙන කථිකයන් සමඟ ආකර්ශනීය විද්වත් කථිකාවතක්ද පැවැත්විණි; CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, CSE තැරැව්කාර අධීක්‍ෂණ සහ ලැයිස්තුගත ආයතන අනුකූලතා පිළිබඳ ‌ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි නිලූපා පෙරේරා මෙනවිය, ADB ජාත්‍යන්තර GSS මූල්‍ය උපදේශක කාර්තික් අයියර් මහතා (මාර්ගගත ක්‍රමවේදයට)  ඉෂ්රාත් රවූ‌ෆ් මහතා, අසංක හේරත් මහතා, සහ වින්ද්‍යා ජයසේකර මහත්මිය යන අය මීට සහභාගී වූහ. CSE අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී.

    විද්වත් කථිකාවතෙන් සහ ප්‍රශ්නෝත්තර සැසියෙන් අනතුරුව, සහභාගිවන්නන් විසින් මෙම අවස්ථාවෙිදී ලබා දුන් වටිනා දැනුම අගය කරන ලදී.

     

     ඡායාරූප විස්තරය - "ධනය උත්පාදනය සහ විවිධාංගීකරණය සඳහා අවස්ථා බිහි කිරීම" දැනුවත් කිරීමේ සැසිය අතරතුර පැවති විද්වත් කථිකාවත