ශ්‍රී ලංකාව තුළ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම දශකයක් සම්පූර්ණ කරයි

    August, 21, 2024

    ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය 10වන සංවත්සරය සමරයි

    මෙරට වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2014 වසරේ ජුනි මසදී, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 100% ජාන ගැලපෙන ඇලෝජෙනික් ඇටමිදුළු බද්ධ කිරීම (BMT) ආසිරි සෙන්ට්‍රල් රෝහලේ (ACH) සායනික රක්තපාත හා ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේදී ආරම්භ කරනු ලැබීය. මෙම ජීවිතාරක්ෂක සැත්කම් ක්‍රමය නිසා ප්‍රතිකාර සඳහා විදේශගත වීමට නොහැකි රෝගීන් විශාල පිරිසකගේ ජීවිත රැකගන්නට අවස්ථාව උදා විය. 2024 ජුනි මසට යෙදී ඇති මෙම මධ්‍යස්ථානයේ 10වන සංවත්සරය ආසිරි සෙන්ට්‍රල් රෝහල උත්කර්ෂවත් අයුරින් පසුගියදා සමරන ලදී.

    ආසිරි සෙන්ට්‍රල් රෝහලේ BMT කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ලලින්ද්‍ර ගුණරත්න මහතා විසින් වන අතර, එතුමා ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සායනික රක්තපාත හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ආරම්භයේ සිටම කටයුතු කරනු ලබයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ LRH හි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන්ගි දිසානායක මහත්මිය සහ බහුවිධ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකින් සමන්විත ඉතා කැපවීමෙන් යුතු හෙද කණ්ඩායමකින් සැදුම්ලත් පිරිසක් ශ්‍රී ලංකාවේ ඇටමිදුළු බද්ධ කිරීම ආරම්භ කිරීමේ ලා පුරෝගාමී විය. ඇටමිදුළු බද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මූලික පුහුණු කටයුතු සඳහා වෛද්‍ය ලෝරන්ස් ෆෝක්නර් සහ ඉතාලියේ Cure-2-children පදනම සහය ලබා දුන් අතර මේ සඳහා ප්‍රායෝගික මෙන්ම Online සැසි ද පවත්වන ලදී.

    ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මෙම BMT කණ්ඩායම මේ වන විට, රිජ්වේ ආර්යා රෝහල (LRH) සහ යාපනය ශික්ෂණ රෝහල වැනි රජයේ රෝහල්වල ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කිරීම සඳහා පුහුණුව සහ උපදේශනය ලබා දෙන්නට ද කටයුතු කරයි. ඇටමිදුළු බද්ධ කිරීම යනු ජානමය වශයෙන් ගැළපෙන පරිත්‍යාගශීලියෙකුගේ නිරෝගී ප්‍රාථමික සෛල සමඟ රෝගී ඇටමිදුළු ප්‍රතිස්ථාපනය කිරීමයි. ඇටමිදුළු බද්ධ කිරීමේ ක්‍රියාවලියේ ශිල්පීය ක්‍රමවල දියුණුව නිසා දැන් 50%ක ජානමය ගැලපීමක් වුවද ඇටමිදුළු බද්ධ කිරීම් සඳහා හැකියාව ඇති අතර, මේ හේතුවෙන් වැඩි රෝගීන් ප්‍රමාණයකට සැත්කම සිදු කර ගැනීමට අවස්ථාව සැලසී ඇත. ආසිරි සෙන්ට්‍රල් හි BMT ඒකකය ද මෙම ක්‍රමය අනුගමනය කරමින් එහි ප්‍රවීණතාව ලබා ඇති අතර පසුගිය වසර කිහිපය පුරාවටම එවැනි ‘හැප්ලෝ බද්ධ කිරීම්’ රැසක් ඔවුන් විසින් සිදු කර ඇත. රෝගියාට ජානමය සම්බන්ධයක් නැති ඉන්දියාව වැනි වෙනත් රටවලින් 100%ක් ගැලපෙන පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගත් ප්‍රාථමික සෛල ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන රෝගියා වෙත ලබා දෙන බද්ධ කිරීම් ද මෙම කණ්ඩායම විසින් සාර්ථකව සිදු කර ඇත.

    ඇටමිදුළු බද්ධ කිරීම යනු, Aplastic රක්තහීනතාවය, මයිලෝඩිස්ප්ලාස්ටික් සින්ඩ්‍රෝමය, ඇතැම් ලියුකේමියා තත්ත්වයන්, ලිම්ෆෝමා, තැලසීමියා, ප්‍රතිශක්ති ඌනතා ආබාධ සහ මල්ටිපල් මයිලෝමා වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමකි. පසුගිය දශකය තුළ, BMT ඒකකය රෝගීන් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරාගන්නට දායකත්වය ලබා දී ඇති අතර රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සමඟ දිගුකාලීන සබඳතාවන් ද පවත්වාගෙන යනු ලබයි.

    මෙම ඒකකය මගින් ලියුකේමියාව, ලිම්ෆෝමා සහ මයිලෝමා වැනි විවිධ රුධිර හා ඇටමිදුළු පිළිකාවලින් පෙළෙන රෝගීන් සඳහා එක්දින (Day cases) සේවාවක් ලෙස ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. BMT සහ ඇතැම් රුධිර පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය රුධිර විකිරණ යන්ත්‍රයක් සහිත ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික රෝහල වන්නේ ද ආසිරි සෙන්ට්‍රල් රෝහලයි. ආසිරි සමූහ ව්‍යාපාරය, පෞද්ගලික අංශයේ එකම පෙට් ස්කෑනර් යන්ත්‍රයක් හිමි රෝහල වන අතර විකිරණ ප්‍රතිකාර ඇතුළු, රුධිර හා ඇටමිදුළු පිළිකා සඳහා ප්‍රතිකාර කළ හැකි පුළුල්තම පහසුකම් සහිත දිවයිනේ එකම පෞද්ගලික රෝහල් සමූහය බවට ද පත්ව ඇත.

    ආසිරි සෙන්ට්‍රල් හි BMT ඒකකය, සායනික රක්තවේදය පිළිබඳ පශ්චාත් උපාධි අභ්‍යාසලාභීන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය විසින් අනුමැතිය ලැබූ ආයතනයක් ද වේ.

    මෙම කණ්ඩායමට රක්තව්‍යාධිවේදය, සායනික රක්තව්‍යාධිවේදය, ළමා රෝග, වැඩිහිටි වෛද්‍ය සත්කාර, රුධිර පාරවිලයනය, වකුගඩු රෝග, ජාන විද්‍යාව, නිර්වින්දන විද්‍යාව, මනෝචිකිත්සාව, විකිරණවේදය, ක්ෂුද්‍රජීව විද්‍යාව, පිළිකා පිළිබඳ විකිරණවේදය, ළමා සැත්කම් සහ දැඩි සත්කාර පිළිබඳ පළපුරුදු උපදේශකයින් ඇතුළත් වේ. ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී තමරා මහවත්ත මහත්මිය ඇතුළු විශිෂ්ට පළපුරුදු හෙද කණ්ඩායමක් ඉතා කැපවීමෙන් යුතුව මේ සඳහා දායකත්වය සපයයි.

    ආසිරි සෙන්ට්‍රල් හි BMT කණ්ඩායම, දශකයක් පුරා පැමිණි ගමන්මඟ තුළ ලැබූ විවිධාකාර වූ අත්දැකීම් හා අභියෝග රැසකින් පන්නරය ලැබූ පිරිසකි. කණ්ඩායමේ සාර්ථකයත්වයේ කොඳු නාරටිය වන්නේ එහි සාමාජිකයන්ගේ කැපවීම සහ නායකත්වයේ ඉදිරි දැක්මයි.