කොළඹ පර්චස් 60ක් ගැන කැබිනට් තීරණයක්

    August, 27, 2024

    සුඛෝපභෝගී සහාධිපත්‍ය ස්වභාවයේ නිවාස සංවර්ධනය ඇතුළු සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙත හෝ එහි නාමිකයා වෙත අවුරුදු 99ක කාලසීමාවක් සඳහා අක්කර 3.03ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී ඇත.
    ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ නාමිකයා වන වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමකට එළඹ තිබේ.
    මේ වන විට ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට අපේක්ෂිත කුලුනු 06න් සහාධිපත්‍ය නිවාස/මහල් නිවාස ඒකක 425ක් ඇතුළත්ව කුලුනු 03ක් සම්පූර්ණ කර වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඉතිරි කුලුනු 03හි ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී.
    සහාධිපත්‍ය දේපළට අයත් ඉඩම් කොටසට පරිබාහිරව පවතින බද්දට දෙනු ලැබූ ඉඩමට ඇතුළත් වන පර්චස් 60.5ක ඉඩම් ප්‍රමාණයක් එම නිවාස ගැනුම්කරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් වන සේවා සඳහා භාවිත කර ඇත.
    එකී ඉඩම් කොටස ඇතැම් පොදු පහසුකම් සැපයීමේ සේවා මාර්ග සහ රූපවාහිනී, දුරකථන/විදුලි සංදේශ සේවා, මාර්ග අයිතිවාසිකම් වැනි ඉදි කිරීම පිණිස භාවිත කර ඇත. එබැවින්, එකී ඉඩම් කොටස හරහා වැටී ඇති පරවශතා සහ සේවා අයිතිවාසිකම් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ සහාධිපත්‍ය පදිංචි නිවාස ගැනුම්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පැවරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.