August, 27, 2024
NDB බැංකුව ශ‍්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ වැදගත් පියවරක් ලෙස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සම්බන්ධ වෙමින් ව්‍යවසායකයන් සඳහා වැඩමුළු මාලාවක් සංවිධානය කරන ලදී. NEDA ආයතනය මඟින් ජාතික මට්ටමෙන් ක‍්‍රියාත්මක කරන ‘B500 ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස මෙම වැඩමුළු මාලාව පවත්වා ඇත. මෙම B500 වැඩසටහන ශ‍්‍රී ලාංකේය නව ව්‍යාපාර සන්නාම 500 ක් ගොඩනැංවීම සහ දේශීය ව්‍යවසායන් නංවාලීම සඳහා අත්‍යවශ්‍ය පුහුණුව සහ සම්පත් සැපයීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.
කොළඹ සහ කළුතර දිස්ත‍්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම වැඩමුළු මාලාව, ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම, වත්මන් වෙළඳපල ප‍්‍රවණතා අවබෝධ කර ගැනීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා ඩිජිටල්කරණය උපයෝගී කරගැනීම වැනි ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි සැලසුම් කර තිබිණි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තරඟකාරී වෙළෙඳපොළ තුළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් සන්නද්ධ කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ විය.
මෙම වැඩමුළු මාලාවේ ආරම්භක වැඩසටහන ව්‍යවසායකයන් 70 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී 2024 ජුලි මස 10 වැනි දින, පැවැත්විණි. මෙම සැසිය මඟින් මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය කළමනාකරණය තුළ ඇති වැදගත්කම සහ වෙළඳපල ගතිකත්වය අවබෝධ කර ගැනීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරනු ලැබිණි. ව්‍යාපාරවල ඩිජිටල්කරණයේ කාර්යභාරය, තාක්ෂණය මඟින් ව්‍යාපරයේ මෙහෙයුම් ක‍්‍රමවත් කළ හැකි ආකාරය සහ වර්ධනය සඳහා නව මංපෙත් විවර කළ හැකි ආකාරය ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දෙවන වැඩමුළුව සඳහා ව්‍යවසායකයින් 65 දෙනෙකු පමණ සහභාගී වූ අතර, එම වැඩසටහන 2024 ජුලි 22 වන දින පවත්වන ලදී. මෙම සැසිය ඩිජිටල්කරණය සහ වෙළඳපල උපාය මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පැවැත්වුණු අතර එහිදී ඩිජිටල්කරණය මඟින් සාර්ථකත්වයට පත් සැබෑ ව්‍යාපාර උදාහරණ ලෙස ගනිමින් ප‍්‍රායෝගිකව එම අංශයන් ක‍්‍රියාත්මක කල හැකි ආකාර පිළිබඳව පුළුල් විග‍්‍රහයක් ඔවුන් වෙත ලබා දෙන ලදී. මෙහිදී මෙම ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ සන්නාම ගොඩනැගීම සඳහා වන වැදගත් උපායමාර්ග රැසක් පිළිබඳවද ඔවුන් දැනුවත් කරන ලදී.
NDB බැංකුවේ ව්‍යාපාර බැංකුකරණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු නිලේන්ද‍්‍ර අහංගම මහතා ඇතුළු NDB බැංකුවේ ව්‍යාපාර බැංකුකරණ ක්ෂේත‍්‍රයේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම වැඩමුළු මෙහෙයවන ලදී. NDB බැංකුවේ සහකාර උප සභාපති - විකුණුම්, සමීර සෙනරත් මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ අංශයේ කළමනාකරු ජානක මීපාගල මහතා මූල්‍ය අභියෝග ජයගැනීම, ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම සහ ඵලදායී වෙළඳපල උපාය මාර්ග සැකසීම පිළිබඳ වටිනා මඟ පෙන්වීමක් සහභාගී වී සිටි පිරිසට ලබාදුනි.
මෙම ව්‍යවසායකයින් හට තවදුරටත් සහාය වීම සඳහා, NDB බැංකුව සිය ව්‍යාපාර බැංකුකරණ අංශය මඟින් ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ උපදේශන ඒකකයක් පිහිටුවා ඇති අතර, එමඟින් මෙම ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ සාර්ථකත්වයට පත්වීම උදෙසා අවශ්‍ය මඟ පෙන්වයි.
තවද, NDB බැංකුව සහ NEDA අතර මෙම හවුල්කාරිත්ව වැඩසටහන සංවිධානය කිරීම සඳහා තැන්පතු අභිප්‍රේරණ ඒකකයේ (Deposit Mobilisation Unit) ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ප‍්‍රවීන් ද ජාකොලින් සෙනෙවිරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා නිලධාරිනි සෙව්මිණි චතුරංගි මහත්මිය ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.
NDB බැංකුව සහ NEDA ආයතන අතර ක‍්‍රියාත්මක මෙම සහයෝගී ප‍්‍රයත්නය ඉදිරියටත් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම වැඩමුළු මාලාවේ තෙවන වැඩසටහන 2024 අගෝස්තු 12 වන දින ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
NDB බැංකුව NEDA ආයතනය සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය මඟින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් ඔවුන් නගාසිටුවීම උදෙසා ඔවුන්ගේ ඇති කැපවීම අවධාරණය කරයි. මෙවැනි හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම පිළිබඳ, NDB බැංකුවේ අරමුණ වන්නේ, ආර්ථික වර්ධනය සහ දේශීය ව්‍යවසාය සංවර්ධනය සඳහා සහාය දැක්වීමේ NDB බැංකුවේ පුළුල් මෙහෙවර සමඟ යමින්, තරඟකාරී වෙළඳපලක් තුල අඛණ්ඩව ව්‍යාපාර මෙහෙයවීම පමණක් නොව, ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය සම්පත් සහ පුහුණුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දීමයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය.
මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
Video Story