අග්‍රහාර රක්ෂණාවරණය හිමි ඔබට ඩර්ඩන්ස් රෝහල වෙතින් ”රාජ්‍ය සේවා අභිමන්”

    September, 4, 2024

    ඩර්ඩන්ස් රෝහල ජාතික රක්ෂණ භාර අරමුදල සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමග අත්වැල් බැඳගනිමින් අග්‍රහාර රක්ෂණ හිමියන්ට අද්විතීය ගණයේ සෞඛ්‍යය සේවාවන් සපයා දෙමින් සිටියි. මේ සේවාව රාජ්‍ය සේවයේ නියුතු ඔබට විශාල වරප්‍රසාද සපයන අග්‍රගණ්‍ය සේවාවකි.ජාතික රක්ෂණ භාර අරමුදල සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛ 5/1997 යටතේ ජාතික අග්‍රහාර අරමුදල පිහිටවූයේ 2006 වසරේදී ය. රාජ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරමින් ඉහළ සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් ඔවුන්ට පෞද්ගලික රෝහල් හරහා සැත්කම් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මේ මඟින් අවස්ථාව සැලසේ.

    අග්‍රහාර සේවා සඳහා රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශිෂ්ඨතම වට්ටම් ලබා දීමට ඩර්ඩන්ස් රෝහල කටයුතු කරන අතර එය පෞද්ගලික රෝහලකින් ලැබෙන ඉහළම වට්ටම් වේ. මේ සම්බන්ධ ගිවිසුම ඩර්ඩන්ස් රෝහලේ විධායක අධ්‍යක්ෂක අමින්ද තුඩාවේ මහතා,  ජේෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ආචාර්ය සංඛ විල්බාගෙදර මහතා, ජේෂ්ඨ ව්‍යාපාර කළමනාකරු සඳුන් පෙරේරා මහතා සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිතුමිය වන සාගලා අභයවික්‍රම මහත්මිය,ප්‍රධාන විධායක නිලධාරි ගමාණි ලියනාරච්චි මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරි සමිල් තුෂාර මහතා අතර අත්සන් තැබීම පසුගිය දා සිදු විණ.

    ඩර්ඩන්ස් රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නගරය මධ්‍යයේ පිහිටා ඇති රෝගී සත්කාරක සේවයෙහි ඉදිරියෙන් වසර 70 පුරා වෛද්‍ය සේවා සපයන පෞද්ගලික  රෝහලකි. පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලය හා  විශේෂඥ උපදේශක මණ්ඩලය සමඟ එක්වී නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ හා පහසුකම් හරහා උසස් තත්ත්වයේ සේවාවන් පවත්වාගෙන යන ඩර්ඩන්ස් රෝහල හෘද රෝග සේවා සැපයීම සහ සැත්කම් කිරීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින අතර ස්නායු ශල්‍ය සේවා සඳහා නවීනතම පහසුකම් පවතින රෝහලකි. විකලාංග රෝග ඒකකය, අක්ෂි සායන සහ සැත්කම්, දන්ත රෝග සේවා, විකිරණවේදී සේවා සඳහා ද විශිෂ්ටතම සේවා සපයන අතර ඩර්ඩන්ස් රසායනාගාර සේවා දීප ව්‍යාප්ත සේවාවක් සපයයි. ඒ හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට කිසිදු සැකයකින් තොරව සෞඛ්‍ය තත්වයන් නගා සිටුවීම වෙනුවෙන් ඩර්ඩන්ස් රෝහල තෝරා ගැනීමට හැකි ය.

    ”රාජ්‍ය සේවා අභිමන්” ලෙස රාජ්‍ය නිලධාරීන්ට පිරිනැමෙන මේ අග්‍රහාර රක්ෂණය සම්බන්ධයෙන්  ඩර්ඩන්ස් රෝහල  විසින් ඔබේ ආයතනයට පැමිණ පිලිබඳ දැනුවත් කිරීමේ සැසි පවත්වන අතර ඔබගේ ඕනෑම ගැටළුවක් වෙනුවෙන් පිළිතුරු ලබා දීමට කාර්ය මණ්ඩල දුරකථන අංකයක් පැය 24 පුරා විවෘතව පවතී. රෝහල්ගතවිමකදී අවශ්‍ය ලියකියවිලි සැකසීම සහ රක්ෂණාවරණ ලබා දීමට ද ඩර්ඩන්ස් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරයි. ඩර්ඩන්ස් රෝහල මගින් රාජ්‍ය සේවයේ නියුතු ඔබට අග්‍රහාර සේවා හරහා විශේෂ වට්ටම් ලබා දීමට ද කටයුතු කර තිබේ. රෝහල් නේවාසික පහසුකම්, ගිලන් රථ සේවා ලබා ගැනීම්, රසායනාගාර සේවා ලබා ගැනීම්, චැනලින් සේවා, හෘද සැත්කම්, ස්නායු සැත්කම්, විකලාංග සැත්කම්,විකිරණවේදී පරීක්ෂණ සඳහා මේ වට්ටම් අග්‍රහාර රක්ෂණලාභී රාජ්‍ය නිලධාරීන්ට ඩර්ඩන්ස් රෝහල හරහා හිමි වේ.

    අභිමානවත් රාජ්‍ය සේවයේ නිරත වෙමින් රට වෙනුවෙන් සේවය කරන සෑම රාජ්‍ය නිලධාරියෙකුම වෙනුවෙන් පිරිනමන මේ සුවිශේෂී සේවා ඔබත් හිමි කර ගන්න.