භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා අදාළ කාල සීමාව ලිහිල් කරයි

    September, 9, 2024

    සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති" නිකුත් කරන ලද  අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
    මෙම රීති 2024.09.04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද අතර එදින සිටම බලාත්මක විය.
    මෙම රීති මගින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම්, අවසරලත් ගෙවීම් සදහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල් වලට අනිවාර්යයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාලසීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුන (03)ක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන (10 වැනි) දිනය දක්වා දීර්ඝ කර ඇත. පෙර පැවති රීති වලට අනුව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එලෙබෙන මාසයේ හත්වන (07 වැනි) දින අදාල ශේෂයන් ශ්‍රී ලංකා රුපියල් වලට අනිවාර්යයෙන් පරිවර්තනය කල යුතුව තිබුණි.
    මෙම නීතින්ට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ( http://www.dfe.lk ) හරහා ප්‍රවේශ විය හැක.