September, 18, 2024
මහාචාර්ය අසංක එස්. රොද්‍රිගෝ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල ඉන්ධන මත වැඩි විශ්වාසයක් තැබීම ආර්ථික මෙන්ම පාරිසරික අර්බුදවලට ද මඟ පාදන්නකි. කෙසේ වෙතත් ස්වාභාවික සම්පත් බහුල, ආශිර්වාද ලත් දිවයිනක් ලෙස වඩාත් තිරසර බලශක්ති අනාගතයක් වෙත මාරු වීමට අපට ද සුවිශේෂී අවස්ථාවක් දැන් සැලසී ඇත. මේ වන විට පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ කතාබහක් නැවත මතුව ඇත්තේ ස්වයංපෝෂිත, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගැන නව දැක්මක් ද සමඟිනි.
නැවතත් මුල වෙත
අතීතයේදී, ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව ප්‍රධාන වශයෙන් සපිරුණේ පුනර්ජනනීය බලශක්තියෙනි. 1980 ගණන්වල මැද භාගයේදී, ජල විදුලි හා ජෛව ස්කන්ධ වැනි දේශීය පුනර්ජනනීය සම්පත් භාවිතා කරමින් රට තුළ බලශක්ති අවශ්‍යතාවයෙන් ආසන්න වශයෙන් 80%ක් සපුරා ගන්නට හැකි විය. ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය සහ අනෙකුත් සෙසු අවශ්‍යතා සඳහා වන බලශක්තියෙන් 20%ක් පමණක් සපුරා ගන්නා ලද්දේ ආනයනය කරන ලද ෆොසිල ඉන්ධනවලිනි. මේ නිසා ශ්‍රී ලංකාවට බලශක්ති අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය සම්පත් මත යැපෙමින්, බලශක්ති නිෂ්පාදනය අතින් බොහෝ දුරට ස්වයංපෝෂිත වීමට හැකි විය.
කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා, ජනගහන වර්ධනය, කාර්මීකරණය සහ බලශක්ති ඉල්ලුම වැඩිවීම මෙම තත්ත්වයන් වෙනස් වීමට හේතු වී ඇති අතර, වර්තමානය වන විට ෆොසිල ඉන්ධන රටේ බලශක්ති නිෂ්පාදනයෙන් 51% කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා යොදාගනු ලබයි. කෙසේ නමුත් මෙය ආර්ථික හා පාරිසරික අභියෝග සඳහා ඉහළ බලපෑමක් ඇති කරනු ලබන්නකි. ෆොසිල ඉන්ධනවලින් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය වෙත ගමන් කිරීමේ අවශ්‍යතාවය ජාතික ප්‍රමුඛතාවයක් පමණක් නොව ගෝලීය අවශ්‍යතාවයක් බවට ද වර්තමානයේ පත්ව ඇත.
ඉක්මන් වෙනසක අවශ්‍යතාව
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික අර්බුදය, ආනයනික ෆොසිල ඉන්ධන මත දැඩි ලෙස යැපීමේ අවදානම පැහැදිලිවම පෙන්වා දුන් අවස්ථාවක් විය. පැය 13ක් දක්වා විදුලිය විසන්ධි කිරීම, ඉන්ධන හිඟය සහ සීමිත විදේශ විනිමය නිසා පොසිල ඉන්ධන ආනයනය දරාගත නොහැකි වැය බරක් වීම, දෛනික ජීවිතයට බාධා පැමිණීම පමණක් නොව බලශක්තිය අතින් ස්වාධීන වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අගනා පාඩමක් මෙමගින් අපට කියා දුන්නේය.
ශ්‍රී ලංකාවට තව දුරටත් මේ අයුරින් ඉදිරියට යා නොහැකි බව පැහැදිලිය. වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි දේශීය පුනර්ජනනීය සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අප යොමු විය යුතුය. පෙට්‍රෝලියම් සංචිත ගවේෂණය කිරීමට උත්සාහ දරන අතරම, පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මන්ද, ඉදිරියට යා හැකි එකම තිරසර විකල්පය එය වන බැවිනි.
දේශපාලන එකඟතාව
ජනාධිපතිවරණය ආසන්නව තිබියදී, පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම ගැන ද දේශපාලන කරලිය පුරා රැව් දෙන්නට පටන්ගෙන ඇත. මේ පිළිබඳ අවදානය යොමු කරමින් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, සහ අනුර කුමාර දිසානායක යන ප්‍රධාන දේශපාලන නායකයින් තිදෙනාම තම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ යෝජනා ඇතුළත් කර ඇත.
- 2030 වන විට ශ්‍රී ලංකාව හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කර, අසල්වැසි රටවලට ද අපනයනය කළ හැකි අයුරින් 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ අරමුණයි. මෙම සැලැස්මට ත්‍රිකුණාමලය සහ පුනරීන් යන ප්‍රදේශ බලශක්ති කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීම, බලශක්ති පිරිවැය අඩු කිරීම සහ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා දේශගුණයට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආදිය ඇතුළත් වේ.
- සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, දේශගුණික ක්‍රියාවලි පාදක කරගත් ජාතික අනුවර්තන සැලැස්මක් (NAP) හරහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර ඇත. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, ශ්‍රී ලංකාව කලාපීය පුනර්ජනනීය බලශක්ති බලාගාරයක් ලෙස ස්ථානගත කරමින් 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ඉලක්කය 70% ඉක්මවා යාම අරමුණු කරයි.
- අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් සුළං බලශක්තිය යොදාගැනීමේ හැකියාව අවධාරණය කරන අතර, ගිගාවොට් 40කට වැඩි සුළං බලයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති බවත්, පුනර්ජනනීය බලශක්තිය ගෝලීය බලශක්ති වෙළඳපොළට පිවිසීමේ මාර්ගයක් ලෙස දකින බවත් සඳහන් කරයි.
ගෝලීය වශයෙන් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද පොසිල ඉන්ධනවල සිට පුනර්ජනනීය බලශක්තිය දක්වා බලශක්ති මාරුවක් බලාපොරොත්තුවෙන් සිටින රටක් වන අතර, රටේ බලශක්ති අනාගතය බොහෝ දුරට මෙම මාරුව මත රඳා පවතිනු ඇත.
සූර්ය හා සුළං බලශක්ති විභවය
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති මූලශ්‍රයන් විවිධාකාර වන අතර ජල, සූර්ය සහ සුළං කෙරෙහි මූලික අවධානයක් යොමු කර ඇත. සමකයට සමීපව සිටීම නිසා සූර්ය බලශක්තිය වැඩියෙන් ලබා ගැනීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකාවට ඇත. මුහුදෙන් වටවුණු ගොඩබිමක් නිසා වෙරළ සහ වෙරළාසන්න සුළං විභවයන් ද වැඩි වශයෙන් පවතී. භූ තාප සහ තරංග ශක්තිය වැනි සම්පත් පැවතියත් ඒ සඳහා යොමු වීම මේ මොහොතේ වාණිජමය වශයෙන් වාසිදායක නැත. ශ්‍රී ලංකාව මුළුමනින්ම පාහේ ජල විදුලිය භාවිත කරන බැවින් දැන් මූලික වශයෙන් අවධානය යොමු වී ඇත්‌තේ සූර්ය හා සුළං බලශක්තිය පුළුල් කිරීම කෙරෙහි ය.
ස්ථාපිත ධාරිතාව අනුව, 2024 මාර්තු 31 වන දිනට, ශ්‍රී ලංකාවේ ජනන ධාරිතාව 5,012 MWක් වූ අතර, ජල විදුලියෙන් සපුරා ගැනුණේ 1,093 MWක් හෙවත් මුළු ස්ථාපිත ධාරිතාවෙන් පහෙන් පංගුවක් පමණකි. දිගුකාලීන උත්පාදන ව්‍යාප්ති සැලැස්ම අනුව රජයේ අපේක්ෂාව වූ 2030 දී 70%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීම සහ 2050 වන විට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීමේ රජයේ උත්සාහය සමඟ ද මෙය හොඳින් ගැලපේ. මෙම සැලැස්ම පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වන කුඩා ජල විදුලි, සුළං, ජෛව ස්කන්ධ සහ සූර්ය බලශක්ති ක්‍රමවේදවල ඇති වැදගත්කම විශේෂයෙන් අවධාරණය කරයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් සිදු කරන ලද ඒකාබද්ධ අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාව සතුව ගිගාවොට් 16ක සූර්ය බලශක්ති විභවයක් ඇත. [1] ලෝක බැංකුව ඇස්තමේන්තු කරන පරිදි ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ සුළං විභවය ගිගාවොට් 92කි. [2] අනාගතයේ දී මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති සීමා කරන වැඩපිළිවෙළක් සමඟින්, ශ්‍රී ලංකාවේ RE උත්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා සුළං සහ සූර්ය ව්‍යාපෘති කෙරෙහි වැඩි බර තැබීමක් සිදු කෙරෙනු ඇත.
ඉදිරි වසර 25 තුළ, රටේ බලශක්ති ඉල්ලුම වාර්ෂිකව ~5%ක වර්ධනයක් අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවට අලුතින් RE ~7,000 MWක් එකතු කිරීමට අවශ්‍ය වනු ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් සූර්ය බලශක්තියෙන් ~ 4,700 MWක් සහ ~ 1,800 MWක් සුළං බලයෙන් යොදා ගැනෙනු ඇත. [3]
විමධ්‍යගත බලශක්ති උත්පාදනය සඳහා සූර්ය ශක්තිය වෙත යොමු වීමේ ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්ම වහලමත ස්ථාපනය කරන පැනල, පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා වැඩි උනන්දුවක් ඇති කෙරේ. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සූර්ය ධාරිතාව 2011 දී මෙගාවොට් 1.36 සිට 2023 දී මෙගාවොට් 951.36 දක්වා ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත. ශුද්ධ මිනුම් (Net Metering) වර්ධනය කිරීම මඟින් සූර්ය බලශක්තිය සඳහා පුද්ගල සහ වාණිජ ආයෝජන දිරිමත් කරන සැලසුමක් ද මේ යටතේ දැකිය හැකිය.
සුළං සම්පත බහුවලව පැවතීම නිසා, ෆොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීමට සහ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමට විශාල හැකියාවක් ශ්‍රී ලංකාව සතුව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. එමෙන්ම සූර්ය සහ සුළං සම්පත් මඟින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කරමින් රටේ බලශක්ති ස්වාධීනත්වය වැඩි කිරීමටත්, හරිතාගාර වායු විමෝචනය අඩු කරමින් අනාගත බලශක්ති අවශ්‍යතා තිරසර ලෙස සපුරාලීමටත් ඉහළ හැකියාවක් ශ්‍රී ලංකාව සතුය.
ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ
පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම තුළින් රැකියා උත්පාදනය සහ බලශක්ති පිරිවැය අඩු කිරීම ඇතුළු දිගුකල් පවතින, ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ රැසක් ද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. එමෙන්ම, බහු හා ද්විපාර්ශ්වික නියෝජිතායතන, පොසිල ඉන්ධන මත පදනම් වූ ව්‍යාපෘතිවලට වඩා පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ප්‍රවණතාවක් ද ඇත. පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා මාරු වීම මූල්‍ය හා පාරිසරික වශයෙන් ද යහපත් වන අතර ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට තරඟකාරී මාවතක් විවර කර ගැනීමට ද මෙය ඉවහල් වනු ඇත.
සූර්ය බලශක්ති කර්මාන්තය තුළ පමණක්, වර්ධනය වන ඉල්ලුමට සේවා සැපයීම සඳහා සමාගම් 900කට අධික ප්‍රමාණයක් දැනටමත් පිහිටුවා ඇති අතර ඒ හා සමානව, සුළං බල ව්‍යාපෘති මගින් රටේ ධාරිතාවය ඉහළ යන විට රැකියා දහස් ගණනක් උත්පාදනය කිරීමට ද අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාප්තිය සඳහා සැලකිය යුතු ශ්‍රම බලකායක් අවශ්‍ය වන අතර, ව්‍යාපෘතිවල ඉදිකිරීම් සහ මෙහෙයුම් අදියර දෙකේදීම දේශීය වශයෙන් රැකියා රැසක් නිර්මාණය වනු ඇත.
ගෘහ හා කර්මාන්ත සඳහා සමස්ත බලශක්ති පිරිවැයේ යම් අඩුවීමක් සිදුවනු ඇතැයි අනුමාන කරන අතර, බලශක්තිය අධිකව වැය වන කර්මාන්ත ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වඩාත් තරඟකාරී පිළිවෙතක් අනුගමනය කරනු ඇත. අඩු බලශක්ති වියදමක් පැවතීම නිසා පවුල්වලට සැලකිය යුතු සහනයක් ලැබෙනු ඇති අතර මෙය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට ද මහෝපකාරී වනු නොඅනුමානය.
පුනර්ජනනීය බලශක්තිය යනු ශ්‍රී ලංකාවේ වත්මන් බලශක්ති අර්බුදය විසඳීම සඳහා පමණක් නොව රටේ දිගුකාලීන තිරසර ඉලක්ක ළඟා කර ගැනීමට ද හේතු වන සාධකයකි. පැරිස් සම්මුතිය යටතේ කාබන් විමෝචනය අඩු කිරීමට කැප වී සිටින ශ්‍රී ලංකාව 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය ඉලක්ක කර ඇති අතර ගල් අඟුරු හෝ අනෙකුත් ෆොසිල ඉන්ධනවලට සාපේක්ෂව ඉතා අඩු පාරිසරික බලපෑමක් ඇතිව පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට ද මේ නිසා හැකි වනු ඇත.
මේ සියල්ල තුළින්, දේශගුණික විපර්යාසවලට එරෙහි ගෝලීය සටනේදී ශ්‍රී ලංකාවට ආදර්ශයක් ද සැපයිය හැකිය. එමෙන්ම, පුනර්ජනනීය බලශක්ති තාක්ෂණික ක්‍රම සඳහා වැයවන පිරිවැය ද ක්‍රමානුකූලව අඩු වී ඇති නිසා, ඒවා මේ වන විට වඩාත් තිරසර විසඳුම් බවට පත්ව ඇත. මෙම මාරුවීම හරහා දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට මෙන්ම පරිසර දූෂණය අඩු කිරීමටත් සහයක් ලැබෙනු ඇති අතර මේ තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් සහ පරිසර පද්ධතියක් සඳහා මග පෑදෙනු ඇත.
‘ඊළඟ ආණ්ඩුවට’ ප්‍රමුඛතා ලැයිස්තුවක්
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති මාරුවේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා, ඊළඟට පත්වන රජය ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකට ප්‍රමුඛත්වය දිය යුතුය. පළමුව, සුළං සහ සූර්ය වැනි බලශක්ති ප්‍රභවයන් සඳහා විටින් විට පහසුකම් සලසමින් ජාල ස්ථාපනය සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුය. දෙවනුව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නියාමනයන් විධිමත් කළ යුතුය. අවසාන වශයෙන්, මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින් සමඟ හවුල්කාරිත්වයක් ඇති කළ යුතුය.
ශ්‍රී ලංකාව සිටින්නේ පුනර්ජනනීය බලශක්ති විප්ලවයක් අභියස ය. සූර්ය හා සුළං බලය යොදා ගැනීම නිසා ලැබෙන දැවැන්ත හැකියාවන් සමඟින් බලශක්ති ස්වාධීනත්වය, ආර්ථික වර්ධනය සහ පාරිසරික තිරසාරත්වය සඳහා ඉතා යහපත් ප්‍රවේශයක් ලංකාවට ලැබෙනු ඇති අතර හරිත බලශක්ති නිෂ්පාදනය අතින් කලාපීය ප්‍රමුඛයෙකු වීමට ද මේ හරහා අවස්ථාවක් නිර්මාණය වේ යැයි සිතිය හැකිය.
රටක් ලෙස සංවර්ධනය කරා අප යන මේ ගමන තුළ අනාගතය සුරක්ෂිත කරන තිරසර බලශක්ති ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම්, ප්‍රතිපත්ති සඳහා ද අඛණ්ඩව ආයෝජනය සිදු කළ යුතුව ඇත.
(මහාචාර්ය අසංක එස්. රොද්‍රිගෝ, ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විදුලි ඉංජිනේරුවේදය පිළිබඳ මහාචාර්යවරයෙකි)
[1] https://www.adb.org/sites/default/files/publication/354591/sri-lanka-power-2050v2.pdf
[2] https://documents1.worldbank.org/curated/en/828731586850081077/pdf/Technical-Potential-for-Offshore-Wind-in-Sri-Lanka-Map.pdf
[3] https://www.themorning.lk/articles/C2a9RM0BiUCA40tviZfS
Video Story