කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් ඉන්දීය වාණිජ මණ්ඩලයෙන් විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනී

    October, 2, 2024

    කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින්  ගෞරවයට පාත්‍ර වී ඇත.

    බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය මෙම සම්මාන 4 විය.

    මෙම සම්මාන පදනම් වී ඇත්තේ ලාභදායීබව, කාර්යක්ෂමතාවය, කළමනාකරණය, තිරසාරබව යනාදී ක්ෂේත්‍ර කීපයක ප්‍රධාන කාර්යසාධන දර්ශක විශ්ලේෂණය කිරීම මත ය. තවද එහිදී වත්කම්, අත්තිකාරම්, තැන්පතු, ආයෝජන, පොලී ආදායම සහ ලාභ ලැබීම් මෙන්ම අක්‍රීය වත්කම්, ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාත, හරිත ණය ලබා දීම් සහ සමාජ සත්කාරක වගකීම් වෙනුවෙන් සිදුකළ වියදම් යනාදී දත්ත ද සළකා බලනු ලැබේ.

    ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකු බංගලාදේශ කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයට සුභ පතමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “අපගේ බංගලාදේශ මෙහෙයුම ආරම්භයේ සිටම අපට අභිමානය සහ ආශිර්වාදයක් වූ අතර දැන් එය කොමර්ෂල් බැංකු සමූහයේ කාර්ය සාධනය සඳහා වැදගත් දායකත්වයක් දක්වයි.”

    කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ ශාඛාවේ ප්‍රධාන විධායක නිළධාරී නජිත් මීවනගේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: “සේවා ස්ථාන 20ක් පුරා සේවය කරන අපගේ කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම දිරිගැන්වීම සඳහා මෙම සම්මාන විශාල ප්‍රභවයන් වේ.  මෙම සම්මාන, අපගේ බංගලාදේශ කණ්ඩායමේ වෘත්තීයභාවය සහ කැපවීම වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ උපහාරයකි. ඒ මක්නිසාද යත්, අභියෝගාත්මක කාලවලදී පවා කැපවීමෙන් හා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලබා ගත හැකි ජයග්‍රහණ මෙමගින් පෙන්වා දී තිබෙන බැවිනි. කාණ්ඩ තුනක් යටතේ හොඳම කාර්ය සාධනය සඳහා සම්මාන දිනා ගැනීමට හැකිවීමට අමතරව බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැන අපි විශේෂයෙන් සතුටු වෙනවා.”

    කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් 2024 වසර සඳහා ක්‍රෙඩිට් රේටින්ග් ඉන්ෆොමේෂන් ඇන්ඩ් සර්විසස් ලිමිටඩ් (CRISL) ආයතනය වෙතින් දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීමක් වන ‘AAA’ (ත්‍රිත්ව A&) ශ්‍රේණිය ද ලබාගෙන තිඛේ. බංගලාදේශයේ මූල්‍ය ආයතනයකට ලබාදෙන ඉහළම ණය ශ්‍රේණිගත කිරීම මෙම ත්‍රිත්ව A ශ්‍රේණිය වන අතර මෙම වසර කොමර්ෂල් බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් විසින් එය අඛණ්ඩව ලබා ගත් 14 වන වසර වීම ද විශේෂත්වයකි.

    කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංගලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

    සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී ආයතනික බැංකුකරණය බී. ඒ. එච්. එස්. ප්‍රීනා මහතා බැංකුවේ බංගලාදේශ මෙහෙයුම් සඳහා දිනාගත් සම්මාන හතරෙන් එකක් පිළිගන්නා අවස්ථාව.