දින 11කට පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    October, 2, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (02) දිනයේ දී වාර්තා විය.

    මෙලෙස කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ ගනුදෙනු දින 11 කට පසුව වීම විශේෂත්වයකි.

    මෙහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 58.68 කින් පහළ ගොස් ඒකක 11,934.23 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 10.89 කින් පහළ ගොස් ඒකක 3,510.03 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, LOLC හෝල්ඩිංග්ස්, NDB බැංකුව, හේලීස් සහ DFCC බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට දැඩිව බලපාන ලදී. සමාගම් 137 ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබුණි.

    රු. බිලියන 2.29 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.23 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.18 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 58 ක් තරම් පහළ අගයක් විය. විදේශීය විකිණුම් රු. මිලියන 112 ක් ලෙසින් සටහන් වී තිබේ.