October, 3, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන Digital Mobility Solutions Lanka Limited හි ද්විතියීක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (03) උදෑසන ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඩිජිටල් ප්‍රවාහන විසඳුම් සේවාවක් වන PickMe, ක්‍රියාත්මක කරනු ලබන්නේ Digital Mobility Solutions Lanka Limited සමාගම විසිනි.
පසුගිය සැප්තැම්බර් 13 දින PickMe හි මූලික මහජන කොටස් නිකුතුව විවෘත කෙරුණු අතර එහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 43,474,179 ක් එකක් රු. 36/- බැගින් ඉදිරිපත් කර තිබුණි. මෙම කොටස් නිකුතුවට ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබුණු බැවින්, නිකුතුව එදිනම වසා දැමුණි.
අද පෙරවරුවේ PickMe හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සමාරම්භය සංකේත කෙරෙණු පිණිස, කොටස් වෙළෙඳපොළ සම්ප්‍රදායික ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහ Digital Mobility Solutions Lanka Limited හි සභාපති ඇතුළු ප්‍රධාන නියෝජිතයින් පිරිසක් එක්විය.
Video Story