October, 8, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සමඟ නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් මෙම මස අවසානයේ පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.
ඔහු එහි දී වැඩිදුරටත් පවසා සිටියේ මින් පෙර IMF නියෝජිතයන් සමඟ පවත්වනු ලැබුවේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් එහි දී මෙරට ආර්ථිකය සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කර තීන්දු තීරණ කිසිවක් නොගත් බවත් ය.
"මේ IMF නියෝජිතයන් ඇවිල්ලා මූලික වටයේ, නව ජනාධිපතිවරයත් එක්ක මුණ ගැහිලා නව රජය කොහොම ද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියන සංකල්පමය සාකච්ඡාවක් තමයි පැවැත්තුනේ. එහෙම නැතුව ව්‍යූහාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තීන්දු ගන්නේ නිලධාරී මට්ටමේ පැවැත්වෙන සාකච්ඡාවලදී. එවැනි සාකච්ඡාවක් මේ මාසේ අග පැවැත්වෙනවා. ඒ සාකච්ඡාවලට මුදල් අමාත්‍යාංශයෙන්, මහ බැංකුවෙන් ඒ වගේම ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාත් මැදිහත් වෙනවා. එවැනි මැදිහත්වීමක් හරහා තමයි ඒ කටයුතුවල හරයාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ඡා වෙන්නේ. නමුත් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ඒ IMF නියෝජිතයන් එක්ක සාකච්ඡා කරා. ජනතාවට පීඩාගෙන දෙන විශේෂයෙන්ම සමහර ක්ෂේත්‍රවල තියන බදු වැඩි කිරීම් ඒවා පිළිබඳව වෙනස්කම් කළ යුතුව තිබෙනවා. අපේ ස්ථාවරය ඒකයි කියන එක. අපි ඒක කලිනුත් කියපු දේ. ඒ පිළිබඳව ඉදිරි සාකච්ඡාවලදී අනිවාර්යෙන්ම වෙනස්කම් කරන්න, අපි එවැනි සාකච්ඡා පවත්වන්න සූදානම් වෙලා තියෙනවා."