සැප්තැම්බර් මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    October, 16, 2024

    2024 සැප්තැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 54.1ක් වාර්තා කළේය. එමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරයි. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩයිම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.

    නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය විසින් ඉහළ දායකත්වයක් ලබා දී ඇත. තවද, මෙම මාසය තුළ දී, එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් නොග රැස් කිරීම හේතුවෙන්, තොග මිල දී ගැනුම් ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේදී සේවා නියුක්තිය පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද පහත වැටුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.

    උත්සව සමයන් සමඟ වසරේ අවසන් කාලයේ දී ඇතිවන ඉල්ලුම ඉහළ යෑම පිළිබඳ බලාපොරොත්තු හේතුවෙන්, ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වූ අපේක්ෂා ඉහළ මට්ටමක පවතී.