ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති මංගල විජේසිංහ වැඩ භාරගනී

    October, 16, 2024

    මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපතිවරයා ලෙසින් අද (16) දින වැඩ භාරගත්තේය. ඔහු අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිධූරයට පත් වූ 16 වැනියා වේ.

    වැඩ භාරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් මෙසේ පැවසුවේය,

    "අපි සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඖෂධ වැනි අධි තාක්‍ෂණික කර්මාන්ත සඳහා අපනයන විවිධාංගීකරණය කර වැඩි අවධානයක් යොමු කළ යුතුයි. "  

    “තවත් වැදගත් සාධකයක් වන සේවා අපනයනය 2022 ට සාපේක්ෂව ඩොලර් බිලියන 3.1 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය ප්‍රධාන වශයෙන් ICT, ප්‍රවාහනය සහ ඉදිකිරීම් මගින් මෙහෙයවනු ලැබේ. “නව රජයේ සැලැස්ම 2030 වන විට ඩොලර් බිලියන 5 ක  සේවා අපනයන ආදායමක් ලබා ගැනීමයි. ඒ වගේම එම ඉලක්කයට ළඟාවීමත් අපේ අරමුණයි. විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරු ,අධ්‍යක්ෂ මණ්ඩලය  සහ කාර්යමණ්ඩලය විසින් කරන ලද කාර්යභාර්යය අගය කිරීමට  ද මම මෙය අවස්ථාවක් කර ගනිමි."

    "සමහර විට, 2018 දී ක්‍රියාත්මක කරන ලද අපගේ ජාතික අපනයන උපායමාර්ගය සමාලෝචනය කිරීමට අපට අවශ්‍ය විය හැකිය. අපගේ අපනයනකරුවන් බහුවිධ ක්‍රියාකාරකම් ඇතුළත් සංකීර්ණ අනුමත ක්‍රියාවලීන්ට මුහුණ දී සිටී. නව රජය සියලු රාජ්‍ය ආයතන සහ සේවාවන් ඩිජිටල් කිරීමට සහ අන්තර් සම්බන්ධ කිරීමට සැලසුම් කරයි. එසේම අපනයන අංශයේ වර්ධනයට ඇති සියලු බාධක හඳුනාගෙන ඒවා ඉවත් කර අපනයනකරුවන් දිරිමත් කිරීමට මාර්ග සෙවිය යුතුය."

    “අපගේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපගේ අපනයන කූඩයේ නිෂ්පාදන සංඛ්‍යාව සහ අපනයනකරුවන් සංඛ්‍යාව වැඩි කළ යුතුයි. ඒ නිසා අපි රජයේ සැලැස්ම සමඟ පෙළ ගැසිය යුතුයි. අපනයන ආදායම වැඩි කිරීම රජය ද අරමුණු කර ඇති බැවින් අපට මෙම ඉලක්කය සපුරා ගත හැකි යැයි බලාපොරොත්තු වෙමු. , අපි ඔවුන්ගේ උත්සාහයට සහාය දිය යුතුයි."

    දැනට තිබෙන ඒක පුද්ගල අපනයන ආදායම වැඩිකරගැනීම, දැනට 99 වන ස්ථානයේ තිබෙන ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයයේ ශ්‍රි ලංකාව තවත් ඉදිරියට පැමිණිම සහ 2030 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 30 ක අපනයන ආදායමක් ලබාගැනීම යන  මූලික කාරණා තුන පිළිබද අපි විශේෂ අවධානයක් ඉදිරියේදී යොමු කළ යුතුයි. "

    "මම ඔබේ කැපවීම ගැන විශ්වාස කරනවා, ශ්‍රී ලංකාව තුළ දියුණු ජාතියක් ගොඩනැගීම සඳහා අපි කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි."

    අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩභාරගැනීමට  පෙර විජේසිංහ මහතා බ්‍රවුන්ස් සහ සමාගමේ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළේය. ඖෂධ, රසායනික ද්‍රව්‍ය, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, කාර්මික ඉංජිනේරු විසඳුම් සහ දුරකථන තාක්ෂණය ඇතුළු විවිධ අංශයන්හි 25 වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ සහ ප්‍රධාන කළමනාකරණ අත්දැකීම් ලබා ඇත.

    විජේසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් සහ cardiff metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි. එසේම ඔහු ඔහු ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවෙකු ද වන අතර, ව්‍යාපාර කළමනාකරණය සහ ආයතනික උපාය මාර්ග පිළිබඳ අත්දැකීම්වලින් සමන්විතයි.

    අපනයන සංවර්ධනයට අදාළ දේශීය හා ජාත්‍යන්තර සංගම් සමඟ විජේසිංහ මහතා ක්‍රියාකාරීව කටයුතු කර ඇති අතර අපනයන කර්මාන්තයේ බලපෑම් සහගත වෙනස්කම් ඇති කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහු පත්වීම ශ්‍රී ලංකාවේ අපනයන අංශයට නව බලාපොරොත්තුවක් ඇති කරයි.