දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිතයට ශක්තියක් වෙමින් Emerald International, OrphanCare සමඟ අත්වැල් බැඳගනියි

    October, 22, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, දෙමාපිය රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගතයට අත්වැලක් වන ස්වාධීන ආයතනයක් වන OrphanCare සමඟ හවුල්කාරිත්වයකට එළඹෙනු ලැබීය. එසේම මෙම හවුල්කාරීත්වය මඟින් Emerald විසින් සිය ‘Emerald Active’ සහ ‘Emerald Fashion’ යන කාණ්ඩයන් යටතේ අලෙවිවන සෑම නිෂ්පාදනයකින්ම රුපියල් 100ක මුදලක් මෙම දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබයි. මෙම මුලපිරීම හරහා සිය සමාජ වගකීම ඉටුකිරීමෙහිලා සහ අඩු වරප්‍රසාද සහිත ප්‍රජාවන් නඟාසිටුවීමට Emerald දක්වන දායකත්වය මැනවින් විදහා දැක්වෙයි.

    Emerald හි කළමනාකාර අධ්‍යක්ෂ ඒ.එෆ්.එම් ඉක්‍රම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "Emerald අතීතයේ පටන්ම පරිත්‍යාගශීලි ක්‍රියාවන්හි නිරත වෙනවා. OrphanCare සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය එය තව දුරටත් ඉදිරියට ගෙනයනු ලබනවා. මේ තුළින් මෙම දරුවන්ගේ ජිවිත කෙරෙහි අර්ථවත් බලපෑමක් ඇති කිරීමට අප කටයුතු කරනවා."

    "OrphanCare වැනි පිළිගත් ආයතනයක් සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම අපට ගෞරවයට කරුණක්. මේ තුළින් ඔවුන්ගේ රැකවරණයේ සිටින දරුවන්ට වඩාත් වැඩි ශක්තියක් වීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා." යනුවෙන් Emerald හි විධායක අධ්‍යක්ෂ එම්.එම්.එම් ඉහ්සාන් මහතා පවසා සිටියේය.

    "OrphanCare හි සභාපති රුස්ලි හුසේන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "අප සමඟ මෙම හවුල්කාරිත්වයට එළඹීම පිළිබඳව Emerald ආයතනයට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මෙම දරුවන් වැඩිහිටි වියට පත්වීමෙන් අනතුරුව නැවත අතහැර දැමීමකට මුහුණ නොදී සිය ජිවිත සාර්ථක කරගැනීමට ඔවුන්ට අත්වැලක් වීමේ අපගේ අරමුණට මෙම හවුල්කාරිත්වය විශාල දායකත්වයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. එකට එක්ව මෙම දරුවන්ගේ ජිවිත වලට නැවුම් අරුතක් ලබා දීමට අප සැදී පැහැදී සිටිනවා."

    Emerald විසින් තාරුණ්‍යයේ සංවර්ධනය කෙරෙහි සුවිශේෂී කර්තව්‍යයක් ඉටු කරනු ලබනවා. මීට පෙර යෞවන ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ප්‍රථම යෞවන ක්‍රීඩා උළෙල සඳහා යෞවන ක්‍රීඩා සංවර්ධන අනුග්‍රාහක වශයෙන් Emerald සිය දායකත්වය දැක්වූ අතර කොළඹ  දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලියටද අනුග්‍රාහකත්වය දක්වන ලදී. තවද AIESEC සමඟ එක්ව ගලෙන්බිඳුණුවැව, මහගස්වැව මහා විද්‍යාලයේ සිසුන් 600 කට අධික පිරිසකට සහය දෙමින් ප්‍රජා ව්‍යාපෘති රැසකට සහය දැක්වීය. මෙම ව්‍යාපෘතිය මඟින් සිසුන්ට අවශ්‍ය පාසල් උපකරණ පිරිනැමීම සහ සිය දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි දෙමාපියන් සතු තීරණාත්මක කාර්යභාරය අවබෝධ කරවීම සඳහා දෙමාපියන් සම්බන්ධ කර ගනිමින්  ඔවුන්ව දැනුවත් කිරීම සිදු කළේය. මෙම ව්‍යාපෘතිය සිසුන්ගේ අධ්‍යයන හා පෞද්ගලික වර්ධනයට සහය වූ අතර ප්‍රජාව තුළ යහපත් බලපෑමක් ඇති කළේය.

    මීට අමතරව මෑතකදී ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වයේදී Emerald විසින් ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත කමිස 2,500ක් සහ යට ඇඳුම් 1000ක් පරිත්‍යාග කළ අතර තවද COVID-19 වසංගත කාලයේදී ඉදිරිපෙළ වෛද්‍ය සේවකයන් හට පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල පරිත්‍යාග කරමින් ජාතික ප්‍රයත්නයන්ට දායක විය.

    OrphanCare සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා Emerald හි නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. මේ වෙනුවෙන් සිය විකුණුම් වලින් කොටසක් දායක කර ගැනීමෙන්, Emerald විසින් OrphanCare හි මෙහෙවරට සහාය වන අතර ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය සඳහා දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට එක්වීමට අන් අයට ද  ආදර්ශයක් ලබා දෙයි.

    ආමානා බැංකුව ආරම්භක අනුග්‍රාහකයා ලෙස පිහිටුවා ඇති සහ ස්වාධීන භාරකාර කණ්ඩායමක් විසින් පරිපාලනය කරනු ලබන OrphanCare හි අරමුණ වන්නේ දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට සමෘද්ධිමත් විය හැකි සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතියේ  කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් බැංකුව විසින් සම්පූර්ණයෙන්ම දරනු ලබන බැවින් පරිත්‍යාග කරන සෑම රුපියලක්ම සෘජුවම අපේක්ෂිත ප්‍රතිලාභියා වෙත ළඟ වීමයි. මේ දක්වා OrphanCare විසින් රට පුරා ළමා නිවාස 90 කට අධික සංඛ්‍යාවක දරුවන් 3,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 2 වන වගන්තියට ගරු කරමින්, සියලු ලියාපදිංචි කිරීම් ජාතිය, වර්ණය, ආගම හෝ ජනවාර්ගිකත්වය නොසලකා සිදු කරනු ලැබේ.