නිවසක් හිමිකරගැනීමේ සිහින යථාර්ථයක් කිරීමට කොමර්ෂල් බැංකුව කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් සමඟ එක් වෙයි

    October, 22, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේපල වෙළඳාම් සමාගමක් වන කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් හා කොමර්ෂල් බැංකුව අතර ඇති කර ගත් සහයෝගීතාවක් මගින් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නව අවස්ථා විවෘත කර ඇත.

    ආයතනික දැවැන්තයින් දෙදෙනා අතර ඇතිකර ගන්නා ලද මෙම අවබෝධතා ගිවිසුම තුළින් කැපිටල් ට්‍රස්ට් හි ඉදිරි ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඔවුන්ව කොමර්ෂල් බැංකුව වෙත යොමුකරවනු ඇති අතර, බැංකුව වෙතින් ඔවුන්ට සරිලන හොඳම නිවාස ණය යෝජනා ක්‍රමය ලබා දීමට බැඳී සිටී. මෙම ණය යෝජනා ක්‍රම මගින් මහල් නිවාස සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් බහුවිධ දේපල සංවර්ධන ව්‍යාපෘති වල නිවාස මිලදී ගැනීමට පහසුකම් සපයයි.

    කැපිටල් ට්‍රස්ට් හෝල්ඩිංගිස් හි අනුබද්ධිත ආයතනයක් වන කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් විසින්ම මෙහෙයවනු ලබන, තිඹිරිගස්යාය හා වජිර පාරේ ව්‍යාපෘති මෙන්ම ට්‍රයිසන්, හැව්ලොක් සිටි, ෂැන්ග්‍රි ලා, කැපිටල් ටුවින් පීක්ස්, ප්‍රයිම් යෝලෝ සහ අයිකොනික් ගැලැක්සි වැනි ඉහළ මට්ටමේ ව්‍යාපෘති වලින් මහල් නිවාස ලබාගැනීමේ අවස්ථාව මෙමගින් අනාවරණය වේ.

    “මෙම හවුල්කාරීත්වය හරහා තම සිහින නිවහන සොයන පුද්ගලයින් සඳහා තවත් බෙහෝ ඉඩප්‍රස්තා ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙමු,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසීය. “පුළුල් පරාසයක විහිදුන නිවාස ණය යෝජනා ක්‍රම, තරඟකාරී පොලී අනුපාතික සමඟින් ඉදිරිපත් කිරීම මගින් කොමර්ෂල් බැංකුව විසින් පාරිභොගිකයින්ට තමන්ට වඩාත් ම ගැලපෙන දේ තෝරා ගැනීමට වැඩි නම්‍යශීලී බවක් ලබා දෙයි. අපගේ සමාගම් දෙක අතර සහයෝගීතාවය බොහෝ දෙනෙකුගේ නිවාස හිමිකම් අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කිරීමට උපකාරී වනු ඇති බව අපට විශ්වාසයි.

    2024 මාර්තු 31 වන විට සිය නිවාස ණය කළඹ රුපියල් බිලියන 72.965 ක් දක්වා වර්ධනය කර ගනිමින් කොමර්ෂල් බැංකුව මෙම වසර මුලදී ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළෙඳපොළ ප්‍රමුඛත්වය අත්කරගත් පළමු පුද්ගලික අංශයේ බැංකුව බවට පත් විය.

    හිස් ඉඩමක්, නිවසක් හෝ මහල් නිවාසයක් මිල දී ගැනීමට, නිවසක් ඉදිකිරීමට, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් සම්පූර්ණ කිරීමට, පවතින නිවසක් ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සහ පවතින නිවාස ආශ්‍රිත ණයක් පියවීම සඳහා කොමර්ෂල් බැංකුවේ නිවාස ණය ලබා ගත හැකිය. සාමාන්‍ය නිවාස ණයට අමතරව, පළමු වරට නිවාස ගැනුම්කරුවන් සහ ඉදිකිරීම් කරන්නන් සඳහා මෙන්ම හරිත නිවාස ණය සහ විදේශ මුදල් නිවාස ණය සඳහා බැංකුවට විවිධ ණය යෝජනා ක්‍රම ඇත.

    කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංගලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

     

    සේයාරු සටහන:- කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහ කැපිටල් ට්‍රස්ට් රෙසිඩන්සීස් කළමණාකරණ අධ්‍යක්ෂක මිනෝලි වික්‍රමසිංහ මහත්මිය, ආයතන දෙකෙහි නියොජිතයින් ඉදිරිපිටදී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව.