ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට

    November, 1, 2024

    ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත්කර තිබේ.

    මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද (01) දින ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා වෙත පිරිනමන ලදී.

    ඩයලොග් සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා කීර්තිමත් සේවා කාලයක් සටහන් කළ කාලය, ඩයලොග් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ කාල පරිච්ඡේදයකි. එම කාලය තුළ ක්ෂේත්‍රයට පිවිසි හතරවැනි සමාගම ලෙසින් මෙරට මොබයිල් ක්ෂේත්‍රයට සිය සම්ප්‍රාප්තිය සටහන් කිරිමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම විදුලි සංදේශ සන්නිවේදන සේවා සම්පාදකයා බවට පත් වීමට ඩයලොග් වෙත හැකිවිණි. එම කාලය ඇතුළත ආසියාවේ ප්‍රමුඛතම Quad Play හා ඩිජිටල් සේවාවන් සපයන සමාගමක් බවට පත්වීමටද ඩයලොග් වෙත හැකියාව ලැබුණු අතර, මූල්‍ය තාක්ෂණ සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය අංශ ආදී ක්ෂේත්‍රයන්හිද සමාගම සිය ස්ථාවරත්වය තහවුරු කරගනු ලැබිණි. GSM Asia Pacific, හි හිටපු සභාපතිවරයකුද වන ආචාර්ය හාන්ස් විජයසූරියගේ සේවා කාලය අතරතුර එනම්, 2016 වසරේදී GSMA විසින්, Asia Mobile Awards සම්මාන උළෙලේ ඉහළම සම්මානයට ඔහු පාත්‍ර කරන ලදී. ඒ, ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් ‘ආසියානු මොබයිල් ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය’ උදෙසා ය. එපමණක් නොව, මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMDසඟරාව, 2008 වසරේ දී "වසරේ ශ්‍රී ලාංකිකයා" ලෙසින් නම් කරනු ලැබු‍වේද, ඩයලොග් හා ආසිආටා හි මෙම කීර්තිමත් වෘත්තිකයා ය.