අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට “වෙළෙඳ පහසුකම් සැපයීමේ කාර්යසාධක බලකායක්“

    November, 4, 2024

    අපනයන වටිනාකම් දාමයේ ඇති ගැටළු විසදීම සඳහා යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත. මෙහි පළමු රැස්වීම පසුගියදා (ඔක්තෝබර් 29 දින) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණ.

    මෙම අවස්ථාව සදහා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන මහත්මිය , අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලක මහත්මිය, වෙළඳ ජාතික තනි කවුළු පද්ධති ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නීලකාන්ත් වන්නිනායක මහතා, වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායට එක් එක් ආයතන නිර්දේශ කළ රාජ්‍ය නිලධාරීන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු ඇතුළු නිලධාරීන් සහභාගී විය.

    ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පහසුකම් සපයන රාජ්‍ය අංශයේ ආයතන 35 ක නියෝජිතයන්ගෙන් කාර්ය සාධක බලකාය සමන්විත වේ. එහි ප්‍රධාන පරමාර්ථය වන්නේ කෙටිම කාලයක් තුළ මෙම අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් මෙහෙයුම් ගැටළු හඳුනා ගැනීම සහ අපනයනකරුවන් මුහුණ දෙන බාධක සඳහා විසඳුම් සෙවීමයි.

    මෙම මුලපිරීම හරහා වෙළඳ ක්‍රියාවලීන් විධිමත් කිරීම, අපනයන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය උත්සාහ කරයි. වෙළඳ බාධක අවම කිරීම සහ සියළුම රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම මගින් අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපල තුළ ඔවුන්ගේ තරඟකාරිත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇත.

    මෙම සහයෝගිතා ප්‍රයත්නය අපනයනකරුවන්ට ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රශස්ත කිරීම සඳහා තොරතුරු, සම්පත් සහ විසඳුම් සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට අපේක්ෂා කරන අතර අවසානයේ දී රටට වැඩි අපනයන ආදායමක් උපදවයි.