ශ්‍රී ලංකාව ගැන IMF තීරණය හෙට

    November, 22, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය සඳහායි.

    මෙම තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් හෙට (23) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

    ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වෙනු ඇත.

    මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21), දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට මෙම 23 වනදා එළැඹීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනු ලබන බවයි.

    “අප ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳ වට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම්ගෙන ඇති බව. ඒ අනුව අප ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මෙම එකඟතාවන්ට අනුරූපවන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව. ඒ අනුව අප දැනට ක්‍රියාමාර්ග කිහිපයක නිරත වෙමින් සිටිනවා. අපි කවුරුත් දන්නවා එහි තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වන සමාලෝචනය අප ආරම්භ කළයුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ. නමුත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය හේතුකොට ගෙන තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම සඳහා අපට කාලයක් ගත වුණා. මහමැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පසුගිය 17 වෙනිදා ලංකාවට පැමිණියා. අප ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට මෙම 23 වනදා එළැඹීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව කටයුතු කරනවා“, යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සතිපතා පවත්වනු ලබන මාධ්‍ය හමුව ඊයේ (21) එක්සත් ජනපදයේ වොෂින්ටනු නුවර දී පැවති අතර ඊට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Julie Kozack පැවසුවේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනය පිළිබඳ තීරණය 23 වනදා දැනුම් දෙනු ඇති බවයි.

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය සඳහා කොළඹට පැමිණ තිබෙනවා. ඔවුන් නොවැම්බර් 23 වනදා මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි. එහිදී ඔබව මේ සම්බන්ධයෙන් නියමාකාරයෙන් තොරතුරු දැන ගැනීමට පුළුවන්“, යනුවෙන් ඇය පැවසීය.