කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබෑමක්

    November, 25, 2024

    2024 නොවැම්බර් මාසයේ අවසාන සතියේ ගනුදෙනු ඇරඹි අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 187.62 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.52 කින් පහළ යන ලදී.

    පසුගිය ගනුදෙනු දින 5 ඇතුළත ඒකක 100 ඉක්මවූ අගයයකින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය තෙවැනි අවස්ථාවේ මෙය වේ.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,866.65 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,794.71 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, HNB, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ මෙල්ස්ටාකෝප් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට විශාල වශයෙන් බලපා තිබුණි. එම සමාගම් ද ඇතුළුව සමාගම් 163ක කොටස් මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව අද දිනයේ දී පහළ ගොස් තිබුණි.

    රු. බිලියන 2.16 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    එහිදී රු. බිලියන 2.04 ක දේශීය මිල දී ගැනීම් වාර්තා වී තිබෙන අතර දේශීය විකුණුම් රු. බිලියන 1.90 ක් ලෙසින් සටහන්ව ඇත.

    අද දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 114 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 257 ක් ලෙසින් වාර්තා වේ.