November, 26, 2024
2024 ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණය දීමේ කමිටුවේ (OCC) සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණෙන ලදී.
2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් (AdIoc Bond Holders) තත්කාර්ය කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැඳුම්කර හිමියන්ගේ එකමුතුව (Local Consortium of Sri Lanka) සමඟ පවත්වන ලද සම්මුති සාකච්ඡාවන්ගෙන් අනතුරුව, අන්තර්ජාතික බැඳුම්කර හිමියන් සමඟ මූලික වශයෙන් එකඟතාවකට පැමිණෙන ලදී.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය සංයුතිය, ආයෝජකයින් සහ පියවීම් සම්බන්ධයෙන් කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ආර්ථිකයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය හා නීති උපදේශකයින් විසින් සිදු කරන ලද විශ්ලේෂණයකින් අනතුරුව සහ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන විධිවිධාන පරිදි එම අරමුදල විසින් සිදු කරනු ලබන ණය තිරසර විශ්ලේෂණය මඟින් පෙන්වා දෙන ලද පරාමිතීන්ට අනුව, දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.