November, 27, 2024
2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කළේය. මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමකි. ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙනු ලැබේ. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්කම් ආර්ථිකයේ පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියමිත කාලසීමාවේදී සමාලෝචනය කර අවශ්‍යතාවය පරිදි සංශෝධනය කරනු ලැබේ. මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීම මෙන්ම සම්ප්‍රේෂණයවීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රතිපත්ති වෙනස්කිරීමත් සමඟ, වාණිජ බැංකු අන්තර් බැංකු වෙළඳපොළ තුළ ගනුදෙනු කරනු ලබන පොලී අනුපාතිකය වන බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR), මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරෙන එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මත හෝ ඒ ආසන්නයේ පවත්වා ගැනීමට මහ බැංකුව ඉලක්ක කරයි. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ මහ බැංකුවෙහි මෙහෙයුම් ඉලක්කය ලෙස බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය අඛණ්ඩව පවතිනු ඇත.
නිත්‍ය තැන්පතු පහසුකම සහ නිත්‍ය ණය පහසුකම යන මහ බැංකුවේ නිත්‍ය පහසුකම්, මහ බැංකුව සමඟ එක්දින පදනම මත ගනුදෙනු කරන සහභාගිත්ව ආයතන සඳහා අඛණ්ඩව ලබා දෙනු ඇත. මෙම පහසුකම් සඳහා අදාළ වන පොලී අනුපාතික, එනම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මහ බැංකුව විසින් කලින් තීරණය කරනු ලබන ආන්තිකයන් සමඟ එක්දින ප්‍රත්පත්ති පොලී අනුපාතිකයට සම්බන්ධ කෙරේ. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, අන්තර් බැංකු ඒක්ෂණ මුදල් අනුපාතික සඳහා පිළිවෙළින්, පහළ සීමාව සහ ඉහළ සීමාව ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. මෙම තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයට යොමු වීමත් සමඟ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය තවදුරටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස සලකනු නොලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින් උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වා ගැනීමට අරමුණු කර ගනී.
සටහන: තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළව මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු සඳහා වන 2024 අංක 1 දරන රීති ඇතුළත් අංක 2412/09 අති විශේෂ ගැසට් පත්‍රය සඳහා http://documents.gov.lk/files/egz/2024/11/2412-09_S.pdf හරහා ප්‍රවේශ විය හැකිය.