මාස 11 කදී කොටස් වෙළෙඳපොළ 23%කින් ඉහළට

    November, 29, 2024

    2024 වසරේ මුල් මාස 11 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය 23.79% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. S&P SL20 දර්ශකයට අනුව මෙම කාලපරිච්ඡේදය තුළ වර්ධනය 27.27% කි.

    මේ අතර 2024 නොවැම්බර් මාසයේ අවසාන වෙළෙඳපොළ දිනයට අද (29) දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වූ අතර එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24.66ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 12.45කින් පහළ ගියේය.

    ඒ් අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,188.99ක් ලෙසින් හා S&P SL20 දර්ශකය ඒකක 3,905.17 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    පෙර දිනයට සාපේක්ෂව සමාගම් 117ක කොටස් මිල ගණන් අද දින ඉහළ ගියද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හේලීස්, මෙල්ස්ටාකෝප් සහ HNB යන සමාගම්වල කොටස් මිල පහළ යාම් මිල දර්ශකවල හැසිරීමට සෘණාත්මකව බලපාන ලදී.

    රු. බිලියන 3.72ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.48 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.10 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 230 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 612 ක් ලෙසින් සටහන් වුණි.