Adult FriendFinder හැක් කරයි. මිලියන ගණනක ලිංගික රහස් එළියට

    May, 23, 2015

    රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.

    CNN Money වාර්තා සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන තිබෙන බවයි.

    මෙම වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින අතර වෙබ් අඩවියට ලොව පුරා මිලියන 64 ක පමණ පිරිසක් සම්බන්ධ වී සිටින බව එම සමාගම පවසා ඇත.

    මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර තිබුණත් එම වෙබ් අඩවිය Adult FriendFinder යනුවෙන් නම්කර තිබුණේ එංගලන්තයේ Channel 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කළ ප්‍රවෘත්තියක් තුළිනි.

    මෙම අනවසර ඇතුළුවීම නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම වෙබ් අඩවිය අයත් සමාගම පවසා තිබෙන්නේ මෙම අනවසර ඇතුළුවීමට එරෙහිව කටයුතු කරමින් තිබෙන බවත් සිය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය රැක ගැනීමට කැපවන බවයි.