• Ada Derana BIZ Sinhala
  • AIA
  • Cancer Society
  • sri lanaka

AIA ඉන්ෂුවරන්ස්, අඛණ්ඩව 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහයෝගය ලබා දෙයි

June, 7, 2022

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාලවකවානුව තුලත් ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගීතාවයකට එලෙඹි බව ප්‍රකාශ කර සිටියි. මෙය  AIA ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව, ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ අලෙවි කරන සෑම ජීවිත රක්ෂණයක් වෙනුවෙන්ම රු.100/- ක මුදලක් පරිත්‍යාග කරන 4වන වසරයි. .  මේ පිලිබඳ අවබෝදතා ගිවිසුම නොබෝදා AIA ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මිය සමගින් අත්සන් කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස්, පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරන ලද අරමුදල් විශේෂයෙන් භාවිතා කරන ලද්දේ ගිලන්ව, අසරණව සිටින පිළිකා රෝගීන්හට ප්‍රතිකාර සේවා සැපයීමට සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රධානතම ගැටළුවක්ව පවතින පිළිකා රෝගය වැළැක්වීම මෙන්ම ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳව ජනතාව ජනතාව දැනුවත් කිරීම සඳහායි. බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගය ප්‍රධානතම ගැටළුවක්ව පවතින අතර මෙරට  සිදුවන මරණ වලින් 80% ක්ම පිළිකා ආශ්‍රිත මරණ බවට වාර්තා වෙන අතර  මෙය ලෝක මට්ටමින් වෙන මරණ ප්‍රතිශතය වන 74%ටත් වඩා වැඩි අගයක්.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ "පිළිකා රෝගය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති මූලික ගැටලු වලින් එකක්ව පවතින අතර ආධාර උපකාර අවශ්‍ය අයට මෙම අසීරු කාලවකවානුව තුලදී වුවද අපගේ සහයෝගය නොපැකිලව ලබා දීමට අප කැපවී කටයුතු කරනවා.  දැනට පවතින ආර්ථික අර්බුදයක් සහිත වාතාවරණය ඔස්සේ වුවද ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත අඛණ්ඩව අපගේ සහය ලබා දීමට ලැබීම අපට නිහතමානී සතුටක් ගෙනදෙනවා. ගිලන්ව අසරණ තත්ත්වයේ සිටින මෙම පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා කැපවූ සත්කාර සහ ශක්තිමත් ආධාරක පද්ධතියක් ලබා දීම වෙනුවෙන් අපගේ දායකත්වය අඛණ්ඩව ලැබෙනු ඇති අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙවර අපි අතිශයින් අගය කරනවා." 

ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මිය කථා කරමින් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නැවත වතාවක් මෙම අවබෝධතා ගිවිසුම අලුත් කරමින් පිළිකා සංගමය වෙත ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය ලබාදීමට ගිවිසුම්ගත වීම පිළිබඳව අප මහත් සතුටට පත් වෙනවා.  පවතින වාතාවරණ සහ අභියෝග හමුවේ වුවද පසුගිය වසර පුරාවටත් අපට ලබා දුන් මූල්‍යමය දායකත්වය, ප්‍රතිකාර අවශ්‍ය අසරණ පිළිකා රෝගීන්හට පිහිට වීමටත් විශාල වශයෙන් පිටුවහලක් වුනා."

ඇය තවදුරටත් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් අපට ලබාදෙන දායකත්වය ඔස්සේ, ජාතික පිළිකා ආයතනය සහ  අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන රෝගීන්හට සහන සේවා සපයන නැවතුම්පලක් ලෙස කටයුතු කරන අපගේ ගිලාන සේවා නිවාස වන "බණ්ඩාරනායක අනුස්මරණ නිවාසයන්" හි එදිනෙදා මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සිදුවෙනවා. එමෙන්ම පිළිකා වැළැක්වීම,කලින් හදුනා ගැනීම, සහ ප්‍රතිකාර පිලිබඳ ජනතාව දැනුවත් කිරීමද අප සිදුකරන්නා වූ  වැදගත් කාර්යයක්.  ගිලන් වූ රෝගීන්ව හැකිතාක් හොදින් රැකබලා ගැනීම සඳහා,  ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම මානසිකව පීඩනයට පත්වී සිටින ඔවුනට සහන සැලසීමට අපට සැමවිටම පිටස්තර සහාය අවශ්‍ය වෙනවා.  එමනිසා AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව අප සංගමයේ මෙම ප්‍රයත්නයේ සහයට මෙලෙස ඉදිරිපත් වීම අප මහත් සේ අගය කරනවා."