AIIB කාර්යාලයක් ශ්‍රී ලංකාවට

    July, 6, 2022

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ සහාය පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ කොට්ඨාස කාර්යාලයක් පිහිටුවීම
    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු (Asian Infrastructure Investment Bank - AIIB) අධ්‍යක්ෂ මණ්ඩලය අනේවාසික අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වන අතර, එම අධ්‍යක්ෂවරු රාජ්‍යයන් එකකින් හෝ වැඩි ගණනකින් සමන්විත කොට්ඨාස 12ක් නියෝජනය කරනු ලබයි. එම බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව බැංකුවේ 11 වන කොට්ඨාසය නියෝජනය කරනු ලබයි. ඉන්දුනීසියාව එම කොට්ඨාසයේ ප්‍රධාන කොටස් හිමිකරු වන අතර, ශ්‍රී ලංකාව, කාම්බෝජය, මියන්මාරය, ලාඹ්සය සහ නැගෙනහිර ටිමෝරය අනෙකුත් සාමාජික රටවල් වේ. එම රාජ්‍යයන් අතර 2016 වර්ෂයේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අනුව එම කොට්ඨාසයට අදාළ අධ්‍යක්ෂ තනතුර සහ විකල්ප අධ්‍යක්ෂ තනතුර චක්‍රීය ක්‍රමවේදයකට අනුව හුවමාරු කර ගනු ලබයි.
    ඒ අනුව, 2022-2024 දක්වා කාලය තුළ එම කොට්ඨාසයෙහි ප්‍රධානත්වය දැරීම සහ අධ්‍යක්ෂ ධූරය හෙබවීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී ඇති අතර, ඒ සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු නම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවට එකී තනතුර මේ අවස්ථාවේදී ලැබීම ඉතාම වැදගත් වන අතර එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනේවාසික අධ්‍යක්ෂ මණ්ඩලයක් ලෙස කටයුතු කරන බැවින්, අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුව තිබේ.
    ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙහි කොට්ඨාස කාර්යාලයක් ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.