Arcade Independence Square අද ජනපති සුරතින් විවෘත වන වගයි- Video and Photos

    July, 12, 2014

    සැලසුම් සහගත ලෙස සංවර්ධනය කරමින් තිබෙන කොළඹ අග නගරයේ සිරිය තව තවත් වඩවමින් කොළඹ හතේ දැකුම්කළු අයුරින් ඉදිවූ නවතම සුපිරි සාප්පු සංකීර්ණය ඇතුළු පහසුකම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේදී උත්සවාකාරයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

    කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍යය සමයේ ඉදිකළ පෞරාණික ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරමින් මෙම සුපිරි සාප්පු සංකීර්ණය ඉදිකර තිබෙන අතර මෙම පරිශ්‍රය සිනමා ශාලාවක්, නාගරික උද්‍යානයක් මෙන්ම අවන්හල් වලින් සමන්විතය.

    මෙහි යන ඕනෑම කෙනෙකුට දැකගත හැකිවන්නේ මෙම ගොඩනැගිල්ලට මෙන්ම මෙම පරිශ්‍රයට මෙම ප්‍රතිසංස්කරණ වලින් නව පණක් ලැබී තිබෙන බවයි.

    මෙම පරිශ්‍රය නම්කර තිබෙන්නේ “ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්කෙවෙයා“ (Arcade Independence Square) නමින් වන අතර මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ මුල් වාස්තු විද්‍යා සැලසුම් සුරක්ෂිත වන පරිදි යැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමල් පෙරේරා මහතා අප සමග සඳහන් කළේය.

    මෙහි අලෙවි සැල් 42 ක් තිබෙන බවත් ඒවා සියල්ලම ලබාදී තිබෙන්නේ දේශීය ව්‍යාපාරිකයින්ට පමණක් බවත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම පරිශ්‍රය වර්ග අඩි 90,000 කින් සමන්විත වන අතර රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන විට මෙම ගොඩනැගිලි අභාවයට යමින් තිබුණි.

    ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක පමණ මුදලක් රජය වැය කර තිබෙන අතර මෙම පරිශ්‍රය විදේශීය සංචාරකයින්ගේද ආකර්ශනය දිනාගන්නා ලෙස ඉදිකර තිබේ.

    මෙහි දේශීය නිෂ්පාදන සහිත අලෙවිසැල් ගණනාවක් පිහිටුවීමටද සැලසුම් කර ඇත.

    මෙය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛ අධීක්ෂණයට ලක්වූ ව්‍යාපෘතියකි.gcdehijk