ASCOT HOLDINGS නැවතුණු ගනුදෙනු වලට යළිත් පණ. යාලට හෝටලයක්

    August, 13, 2014

    මෙරට ප්‍රකට ආයෝජන සමාගමක් වන ASCOT HOLDINGS විසින් කොළඹ කොටස් වෙළඳ පොළට සිදුකළ නිවේදනයක යම් අඩුපාඩුවක් තිබීම හමුවේ සමාගමේ කොටස් ගනුදෙනුවීම අද උදෑසන කොටස් වෙළඳ පොළ අත්හිට වූවද මේ වනවිට නැවතත් එම කොටස් ගනුදෙනුවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

    කොටස් වෙළඳ පොළ ප්‍රකාශකයෙකු අප සමග සඳහන් කළේ අදාළ නිවේදනයේ තිබූ වැරැද්ද නිවැරදි කර සමාගම ඉදිරිපත් කිරීම හමුවේ නැවතත් ගනුදෙනු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

    මේ අතර, ASCOT HOLDINGS සමාගම සඳහන් කරන්නේ යාල ප්‍රදේශයේ හෝටලයක් ගොඩනැගීම සඳහා හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස කොටස් බලපත්‍ර (Warrants) සමග කොටස් නිකුතුවක් සිදුකිරීමට සමාගම සූදානම් බවයි.
    මෙහිදී, සමාගම විසින් එකක් රුපියල් 12.50 ක් වන කොටස් මිලියන 3.9 ක් නිකුත් කරන්නේ තිබෙන සාමාන්‍ය කොටස් දෙකක් සඳහා එක් කොටසක් ලෙසයි.

    මීට අමතරව, මෙම නිකුතුවේදී කොටස් බලපත්‍ර (Warrants) 998,188 ක් නිකුත් කරන අතර එක් කොටස් බලපත්‍රයක මිල රුපියල් 25.00 කි.
    ASCOT HOLDINGS සභාපතිවරයා ලෙස උපාලි මෙන්ඩිස් මහතා පසුගියදා පත් කෙරුණු අතර සමාගම විසින් 2013 ජනවාරි මාසයේදී කොන්ක්‍රීට් බ්ලොක්ස් නිපදවන Amtrad Limited සමාගමේ සියයට 80 ක කොටස් මිලදීගත්තේ රුපියල් මිලියන 6.2 කටයි.