BMICH උත්සව සහ ප‍්‍රිය සම්භාෂණ සඳහා කදිම තෝතැන්නක්

    June, 13, 2016

    මෙරට ප්‍රෞඩ ඉදිකිරීමක් වන BMICH උත්සව හා ප‍්‍රිය සම්භාෂණ සඳහා කදිම තෝතැන්නකි. උත්සව සංවිධායකවරුන්ගේ විවිධ අවශ්‍යතාවන්ට අනුව තෝරාගත හැකි නවීන පහසුකම් වලින් සමන්විත එකිනෙකට වෙනස් පරිශ‍්‍ර 20 කට අධික සංඛ්‍යාවක් BMICH සතුය. උත්සව හා ප‍්‍රිය සම්භාෂණ අවස්ථාවන්ට සුදුසු BMICH පරිශ‍්‍රයන් හා මෙහි ඉදිරි සැලසුම් පිළිබඳ BMICH උත්සව සහ වෙන්කිරීම් කළමනාකාර මහේෂ් අමරසිංහ මහතා අදහස් දක්වන්නට එක්වූයේ මෙලෙසිනි.

    BMICH උත්සව හා ප‍්‍රිය සම්භාෂණ වැනි අවස්ථාවන් වලට පමණක් නොව ආයතනික රැස්වීම් වැනි අවස්ථාවන් වලට ලබාදෙන වෙනත් පහසුකම් පිළිබඳ පැහැදිලි කළොත් ?

    BMICH පරිශ‍්‍රය තුළ කමිටු පරිශ‍්‍ර රාශියක් පිහිටා තිබෙනවා. මෙම කමිටු පරිශ‍්‍ර තුළ පුද්ගලයින් 10 දෙනෙකුගේ සිට 500 දක්වා වූ පිරිසකට එකවර අසුන්ගත හැකි ඉඩකඩ පවතිනවා. හෝටල් වල තිබෙන උත්සව ශාලාවන් හා සංසන්දනය කර බැලූ විට BMICH පරිශ‍්‍රයන් දේශන, රැස්වීම්, සමුළු, වැඩමුළු, ප‍්‍රසංග ආදිය වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර තිබෙනවා.

    උත්සව සංවිධායකවරුන්ගේ විවිධ අවශ්‍යතාවන්ට සරිලන ලෙස මේ පරිශ‍්‍රයන් වල ආසන සකස් කිරීමේ හැකියාව ද පවතිනවා. එපමණක්ම නොවෙයි මේ පරිශ‍්‍ර තුළ නවීන තාක්ෂණයෙන් මෙහෙයවන ආලෝකකරණ පද්ධති හා වේදිකාවන් පවතින අතර මෙහි එන අමුත්තන්ට වෙනස්ම අත්දැකීමක් හිමිකරදීමට ද හැකියි.

    මෙහිදී BMICH පරිශ‍්‍රය තුළ පිහිටා තිබෙන විවිධ උත්සව අවස්ථාවන්ට සුදුසු අනෙකුත් පරිශ‍්‍රයන් පිළිබඳ මතක් කළ යුතුයි. මීට පෙර A හා B ලෙස නම්කර තිබුණු කමිටු කාමර පිළිවෙලින් ජස්මින් (A) හා ලෝටස් (B) ලෙස නම්කර තිබෙනවා. එමෙන්ම, C හා F ලෙස නම්කර තිබුණු කමිටු කාමර ලැවන්ඩර් (C) හා සැෆ්රන් (F) ලෙස නම්කර තිබෙනවා. ජස්මින් හා ලෝටස් පරිශ‍්‍ර දෙකේම බැල්කනි පහසුකම් පවතින අතර මේ කමිටු කාමර දෙකේම සමස්ත උස අඩි 20 කටත් වඩා වැඩියි. එමෙන්ම, ලැවන්ඩර් හා සැෆ්රන් පරිශ‍්‍ර ද ප‍්‍රිය සම්භාෂණ හා සාද සංවිධානය කිරීමට මනාව සුදුසුයි. ප‍්‍රභූන් හා රාජ්‍ය තාන්ත‍්‍රිකයින් වැනි සම්භාවනීය පිරිස් සහභාගී වන සාකච්ඡා හා හමුවීම් වලට පවා වෙන්වුණු කාමර BMICH පරිශ‍්‍රය තුළින්ම ලබාදීමේ හැකියාව පවතින නිසා මෙය සංවිධායකවරුන්ට ද මනා පිටුබලයක් වනවා.

    බොහෝ හෝටල් තුළ උත්සව අවස්ථා සංවිධානය කිරීමේදී ශ‍්‍රව්‍ය/ද්‍රෘෂ්‍ය පහසුකම් ලබාගන්නට සිදුවන්නේ පිටතින්. නමුත්, BMICH පරිශ‍්‍රයේ තිබෙන නවීන ශ‍්‍රව්‍ය/ද්‍රෘෂ්‍ය තාක්ෂණයෙන් යුතු බහුමාධ්‍ය ඒකකය මෙහෙයවන්නේ ද අපේම කාර්යමණ්ඩලයයි. එපමණක් නොවෙයි වෙනත් කිසිදු සම්මේලන හා ප‍්‍රදර්ශන පරිශ‍්‍රයක් තුළ නොපවතින එකවර භාෂා 32 කට පරිවර්තන ලබාගත හැකි අතිනවීන පහසුකම් ද අප සතුයි.

    BMICH තුළ උත්සව, ප‍්‍රිය සම්භාෂණ හා සම්මේලන පැවැත්වීමේදී අදාළ සංවිධායකවරුන්ට අප සතු සුවිශේෂී පහසුකම් නොමිලේ ලබාදෙනවා. හදිසි අවස්ථාවකදී හා නිවේදන දැනුම් දිය හැකි මහජන ඇමතුම් පද්ධතිය, සංදර්ශන හා උත්සව අවස්ථාවන් වලදී වෙස් ගැන්වීම් හා විවේක ගැනීමට වෙන්කර තිබෙන කාමර හා LED ආලෝකකරණ පද්ධතිය ආදිය මීට ඇතුළත් වනවා.

    මෙරට පවතින අනෙකුත් උත්සව හා ප‍්‍රිය සම්භාෂණ පරිශ‍්‍රයන් හා සසඳා බැලීමේදී BMICH මගින් ලබාදෙන අනෙකුත් සුවිශේෂී සේවාවන් මොනවාද ?

    අප සේවාදායකයින්ට හිමිකරදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ මා මීට පෙරත් පැහැදිලි කළා. අප සේවාදායකයින්ට ලබාදෙන සුවිශේෂී පහසුකම් හා පරිශ‍්‍රයන් අතිශය සුවිශේෂී වනවා වගේම අදාළ උත්සව අවස්ථාවේදී අපටම අනන්‍ය වූ වෙනසක් සංවිධායකවරුන්ට හිමිකරදීමට අප කටයුතු කරනවා. BMICH කොළඹ නගර මධ්‍යයේ පිහිටා තිබුණත් අන් කිසිදු පරිශ‍්‍රයක දක්නට නොමැති ලෙස රථ වාහන 2500 කට අධික ප‍්‍රමාණයක් BMICH පරිශ‍්‍රය තුළ නවතා තැබීමට හැකියි.

    දේශීය හා විදේශීය මට්ටමින් ඔබ ඇතිකරගෙන තිබෙන මූලෝපායික හවුල්කාරීත්වයන් පිළිබඳ සඳහන් කළොත් ?

    BMICH මෙරට ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් ලෙස දෙස්, විදෙස් හවුල්කාරීත්වයන් රැසක් ඇතිකරගෙන තිබෙනවා. ඒ අතරට ජාත්‍යන්තර ප‍්‍රදර්ශන හා සම්මේලන සංගමය (ICCA) සමග අප ඇතිකරගෙන තිබෙන හවුල්කාරීත්වය අතිශයින් වැදගත්වනවා. මේ වනවිට ඔවුන් සමග තිබෙන සාමාජිකත්වය අලූත් කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම, BMICH ශ‍්‍රී ලංකා සම්මේලන කාර්්‍යාංශය (SLCB) හා ශ‍්‍රී ලංකා වෘත්තීය සම්මේලන සංසදය, ප‍්‍රදර්ශන හා රැස්වීම් සංවිධායකවරුන්ගේ සංසදයේ (SLAPCEO) ද සාමාජිකත්වය දරනවා. නව දේශීය විදේශීය සම්බන්ධතා ඇතිකරගැනීමට හා පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ද අප අපේක්ෂාව වී තිබෙනවා.

    ව්‍යාපාර ඉලක්ක කරගත් සංචාරක ක්ෂේත‍්‍රයට අයත් වන රැස්වීම්, සම්මේලන, සම්මන්ත‍්‍රණ හා ප‍්‍රදර්ශන ^MICE& වැනි අංශ වල අවධානය BMICH වෙත හිමිකරගැනීමට තිබෙන අනාගත සැලසුම් මොනවාද ?

    ජාත්‍යන්තර වෙළඳ ප‍්‍රදර්ශන වලට සම්බන්ධ වීමේ සැලසුමක් අපට තිබෙනවා. BMICH පරිශ‍්‍රයන් වල විවිධ උත්සව හා ප‍්‍රිය සම්භාෂණ වැනි අවස්ථාවන් සංවිධානය කිරීමේදී අප ලබාදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමට ද කටයුතු කරනවා.

    මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය ඊ-මේල් හා සමාජ මාධ්‍ය ජාල ආදිය මෙන්ම වෙනත් ඔන්ලයින් මාධ්‍යය තුළින් ශක්තිමත් කිරීමේදී ඩිජිටල් මාධ්‍යය පිළිබඳ අප සුවිශේෂී අවධානයක් යොමුකර තිබෙනවා. විවිධත්වයෙන් යුතු අලෙවි කණ්ඩායමක් හා අලෙවි දැක්මක් BMICH සතුයි. ගෝලීයව පහසුවෙන් පිවිසිය හැකි .com පිවිසුම තුළින් BMICH නව වෙබ් අඩවිය එළිදැක්වීමේ සැලසුමක් තිබෙනවා. රැස්වීම්, සම්මේලන, සම්මන්ත‍්‍රණ හා ප‍්‍රදර්ශන (MICE) වැනි ජාත්‍යන්තර තලයේ උත්සව අවස්ථාවන් වාර්ෂිකව අප පරිශ‍්‍රයන් තුළදී සංවිධානය කිරීමට සංවිධායකවරුන්ව දිරිගැන්වීමට ද අප අදහස් කරගෙන තිබෙනවා. එමෙන්ම, ආයතනික ක්ෂේත‍්‍රය තුළ BMICH පිළිබඳ ප‍්‍රවර්ධන වැඩසටහන් තවදුරටත් දියත් කිරීමට ද අප සැලසුම් කරගෙන තිබෙනවා.