BPPL Holdings කොටස් ගනුදෙනු හෙට ඇරඹේ

    April, 3, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන නවතම සමාගම වන BPPL Holdings Limited හි ද්විතීයික කොටස් ගනුදෙනු හෙට (04) දිනයේ දී ආරම්භ වීමට නියමිතය.

    මෙහිදී BPPL Holdings හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 306,843,357 ක් දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කෙරෙනු ඇත.

    මූලික මහජන කොටස් නිකුතුවේ දී රු.12.00 බැගින් මෙම සමාගමේ කොටස් නිකුත් කෙරෙනු අතර, නිකුතුව විවෘත කෙරෙනු ආරම්භක දිනයේ දීම ඊට අධි දායකත්වයක් (Over Subscribed) ලැබිණි.

    1984 වසරේ දී ඇරඹි BPPL Holdings, මෙරට හා විදේශ වෙළෙඳපොළ වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුතු බුරුසු ඇතුළු පිරිසිදු කිරීමේ උපකරණ නිෂ්පාදනයේ නිරත සමාගමකි.

    සමාගම විසින් 2016 අප්‍රේල් සිට 2017 පෙබරවාරි දක්වා මාස 11 ක කාලයක් සඳහා වන විගණනය නොකරන ලද මූල්‍ය වාර්තා නිකුත් කර ඇති අතර එහිදී රුපියල් මිලියන 393 ක ශුද්ධ ලාභයක් පෙන්නුම් කරනු ලබයි. මෙය පූර්ව කාලපරිච්ඡේදයට සාපේක්ෂව 48% ක වර්ධනයකි.