Cargo Harbor හදලා වැඩක් නැහැ – ජවිපෙ මන්ත්‍රී නලින්ද කියයි

    March, 26, 2019

    ශ්‍රී ලංකාවට තවදුරටත් භාණ්ඩ මෙහෙයුම් සිදුකරන වරායන් (Cargo Harbor) අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වන්නේ නැව්වලට සේවා සපයන Bunkering Port බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී කරුණු දක්වමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ අදහස් දැක්වීය.

    “වරාය දියුණු කිරීමේ දී ඒ සැලැස්ම හැදිය යුත්තේ වරායට පත් වන ඇමතිවරයාගේ අභිමතය අනුව නොවෙයි. ඇමති පත්වෙන්නේ කොහෙන්ද, එහෙට වරාය අරං යනවා. වරාය ඇමති ආවේ නැගෙනහිර පළාතෙන් නම්, ඔලුවිල්වල හදනවා වරායක්. දැන් ඔලුවිල්වල වරාය හැදුවා, ඒ වරායෙන් ඇති වැඩක් නැහැ. අපි ණය ගෙවනවා, වරායේ වැලි පිරෙනවා, කිසිම ආදායමක් නැහැ.“

    “වරාය අධිකාරිය සමස්තයක් විදියට ලාභ ලැබුවාට, ඔලුවිල් වරාය පාඩුයි, හම්බන්තොට වරාය පාඩුයි.“

    “අපේ රටේ තවත් වරායකින් බඩු බාන්න, බඩු පටවන්න තරම් නිෂ්පාදනයක් වෙන්නේ නැත්නම්, Cargo Harbor එකක් තව හදලා වැඩක් නැහැ.“

    “අපිට කරන්න ඕනකම තිබුණේ, ඒ මුහුදු මාර්ගයේ යන නැව්වලට සේවා සපයන Bunkering Port පෝට් එක්ක හදන එක.“