Ceylon Tea තේ වෙළෙඳපොළ පුළුල් කිරීමේ කාර්යභාරය කනක හේරත් ට

    August, 12, 2020

    රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සහයෝගීත්වයෙන් Ceylon Tea සඳහා තේ වෙළෙඳපොළ පුළුල් කිරීම ඇතුළු තවත් සුවිශේෂී ප්‍රමුඛ කාර්යභාරයන් රැසක් අන්තර්ගත පරිදි සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කනක හේරත් මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දෙන ලදී.

    මෙම අමාත්‍යාංශයට අදාළ සුවිශේෂී ප්‍රමුඛතා පහත පරිදි වේ.

    1. සමාගම් වතු උපරිම ඵලදායීතාවයකින්, තේ හා වෙනත් අපනයන භෝග වගා ප්‍රවර්ධන හා ඉහළ වටිනාකම් ඇති අපනයන නිෂ්පාදන බවට පත් කිරීම සහ අවශ්‍ය ජාත්‍යන්තර වෙළෙඳපළ සකස් කිරීම.

    2. මහා පරිමාණ තේ තොග අපනයනය වෙනුවට වටිනාකම් එකතුකළ ආකාරයෙන් තේ අපනයනය දිරිමත් කිරීම.

    3. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සහයෝගීත්වයෙන් Ceylon Tea සඳහා තේ වෙළෙඳපොළ පුළුල් කිරීම.

    4. කාබනික තේ වගාව දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම.

    5. දේශීය තේවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම.

    6. දේශීය පිරිසිදු තේ ශ්‍රී ලංකාවේ අනර්ඝතම නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම.

    7. වතු අංශයේ ඉඩම් ක්‍රමවත් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම.

    8. තේ වතු ආශ්‍රිත වෙනත් භෝග වගාවන් හඳුන්වා දීම.

    9. නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හා යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් තේ කර්මාන්ත ශාලා පූර්ණ නවීකරණයකට ලක් කිරීම හා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා බැංකු ක්‍රමය සම්බන්ධ කිරීම.

    10. ග්‍රාමීය මට්ටමේ තේ වගාව හා කුඩා තේ වතු හිමියන් දිරිගැන්වීම සඳහා සහන සේවා ක්‍රමවේදයන් බිම් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම.