Ceyoka සමාගම අසමසම තුවාල සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේද හඳුන්වා දෙයි

    June, 13, 2016

    රෝගීන්ගේ තුවාල සුව කිරීම සහ උපරිම සායනික ප්‍රතිඵල ලබා ගැනීම තුළ ශල්‍ය වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා පිළියමක් හඳුන්වා දෙමින් Ceyoka සමාගම, යුරෝපයේ Octamed Healthcare Products Inc. සමාගමේ, තුවාල සුව කිරීමේ විසඳුම් පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. තුවාල සුව කර ගැනීම වඩාත් පහසු කරමින් රෝගීන් වෙනුවෙන් වඩාත් උසස් ප්‍රමිතියෙන් යුතු ඵලදායී නිෂ්පාදන රැසක් මේ අනුව දේශීය වෙළඳපලට පිවිසෙනු ඇත.

    "අපගේ අරමුණ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විසඳුම් ලබා දීමෙන් ඔබ්බට යමින් රෝගීන්ගේ යහපැවැත්ම ද වැඩිදියුණු කිරීමයි. මෑතකදී හඳුන්වා දුන් නවතම තුවාල සුව කිරීමේ විසඳුම් මගින් ලොව විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සායනික ප්‍රතිකාර කාර්යමණ්ඩලයට සහ රෝගීන් හට අප හිමිකර දී තිබෙනවා." Ceyoka සමාගමේ ශල්‍ය අංශයේ ප්‍රධානී එමැනුවෙල් මුරුගයියා මහතා සඳහන් කළේය.

    ශල්‍ය පටි (Surgical Tapes), ප්‍රතිබන්ධන වෙලුම්කාරක (Fixation Dressings) සහ තුවාල වෙළුම් පටි දැනට දේශීය වෙළඳපලට හඳුන්වා දී ඇති නිෂ්පාදන පෙළ අතර වෙයි.

    Octamed සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Octacare ශල්‍ය වෙළුම් පටි මාදිලිය කැතීටර්, පෑඩ්, ශල්‍ය නළ, පුළුන් සහ කැනියුලා ආදී ඕනෑම ශල්‍ය උපාංගයක් සමග භාවිතා කළ හැකිය.

    ඉතා කුඩා සිදුරු සහිත ශල්‍ය පටි ඉවත් කිරීමේදී එහි අවශේෂයන් තුවාලය හෝ සම මතුපිට ඉතිරි නොවේ. සංකුලතාවන් ඇති නොවන පරිදි නිර්මාණය කර ඇති මෙම ශල්‍ය පටි, එක්ස් කිරණ පරීක්ෂාවන් සඳහා ද වඩාත් යෝග්‍ය වේ.

    OctaCare ශල්‍ය වෙලුම්කාරක විනිවිද පෙනෙන ලෙස නිෂ්පාදනය කර ඇති බැවින් තුවාලය සිදු වී ඇති ස්ථානය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිවන අතර, සංවේදී සමට එය වඩාත් ගැළපේ.

    නොවියන ලද තුවාල සැරහුම් මාදිලිය ඕනෑම සමක තුවාල සඳහා භාවිතා කළ හැකි අතර, ශල්‍යකර්මයකට භාජනය කරන ලද සහ මැහුම් යොදන ලද ස්ථාන සඳහා මනා ආරක්ෂාවක් ලබා දෙයි.

    යුරෝපයේ ප්‍රකට නිෂ්පාදන සන්නාමයක්වන Octamed සමාගම, සහනදායී මිලට උසස්ම ප්‍රමිතියෙන් යුතු තුවාල සුව කිරීමේ විසඳුම් වෙළඳපලට නිකුත් කරයි.

    දිනෙන් දින වෙනස්වන වෙළඳපල ඉල්ලුමට සරිලන ලෙස සිය නිෂ්පාදන ලබා දීම සඳහා අඛණ්ඩව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කරන Octamed සමාගම, ජනතාවගේ සෞඛ්‍යය සහ එදිනෙදා ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කිරීම වෙනුවෙන් නිබඳව කැප වෙයි.