• Ada Derana BIZ Sinhala
  • CICT
  • CMF
  • Hope Village
  • sri lanaka

CICT සහ CMF ‘Hope Village’ ව්‍යාපෘතිය යටතේ පන්නිල ප්‍රදේශයට ප්‍රජා මධ්‍යස්ථානයක්

June, 9, 2022

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (Colombo International Container Terminals Limited - CICT) සහ එහි මවු සමාගමේ ප්‍රජා සත්කාර අංශය වන චයිනා මර්චන්ට් පදනම (China Merchants Foundation - CMF) එක්වී, හොරණ ප්‍රදේශයේ පන්නිල ග්‍රාමයේ සියලු පහසුකම් වලින් සමන්විත මහල් දෙකකින් යුත් ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කළේ ය.

මෙය විවෘත කිරීමේ උත්සවය 2022 මැයි 26 දින පැවති අතර, CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවෑන්ග් මහතා සහ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ, හොරණ ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. එස්. සජීවනා මහත්මිය විසින් එය විවෘත කරන ලදි. එමෙන්ම මෙම අවස්ථාවට අදාළ ප්‍රදේශයේ ජනතාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ CICT ආයතනික ප්‍රජා සත්කාර කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු පිරිසක්ද එක් වූහ.

මෙම ප්‍රජා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා සිදුකරන ලද ආයෝජනය ඇමරිකානු ඩොලර් 102,000 කි. මෙම මධ්‍යස්ථානය අදාළ ප්‍රාදේශීය බලධාරීන් සහ මහජනතාව අතර හමුවීම් සඳහා භාවිතා කෙරෙනු ඇත. මෙමගින් හොරණ ප්‍රදේශයේ පන්නිල සහ තලගල නැගෙනහිර ගම්වාසීන්ට ඉමහත් පහසුවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප්‍රජා සත්කාරයට පෙර, ඇමරිකානු ඩොලර් 10,000 ක වියදමින් ප්‍රදේශයේ පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය සහ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආධාර බෙදා දීමටද CICT කටයුතු කළේ ය.

පන්නිල යනු CICT සහ CMF අතර හවුල්කාරීත්වයක් වශයෙන් ක්‍රියාත්මක වන ‘Hope Village’ ව්‍යාපෘතියට ඇතුළත් වූ ප්‍රථම ග්‍රාමයයි. ශ්‍රී ලංකාවේ සීමිත ආදායම් ලබන ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවෑන්ග් මහතා කියා සිටියේ CICT සෑම විටම තම ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමට කැපවී සිටින බවයි. “අපගේ ප්‍රජාවන් අපට අතිශයින් වැදගත්. ඒ නිසා අත්වැලක් අවශ්‍ය පුද්ගලයන්ට එම අත්වැල ලබා දෙමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අප සෑම විටම කටයුතු කරනවා. මේ දක්වා අප දරා ඇති උත්සාහයන් පිළිබඳව අපට ආඩම්බර වීමට පුළුවන්. ඉදිරියටත් චයිනා මර්චන්ට් පදනම සහ අපගේ මවු සමාගම වන චයිනා මර්චන්ට් සමූහ ව්‍යාපාරය සමග එක්වී මෙවැනි සත්කාරයන් ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වනවා.” ජැක් හුවෑන්ග් මහතා වැඩිදුරටත් පැවසී ය.

මීට පෙර CICT සහ CMF එක්ව, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ රෝදපුටු ටෙනිස් වැඩසටහනට සහය දීමක් වශයෙන්, ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ ශ්‍රේණිගත වී සිටින ටෙනිස් ක්‍රීඩකයන් තිදෙනෙකුට ඇමරිකානු ඩොලර් 9,000 ක වටිනාකමකින් යුත් විශේෂ රෝදපුටු පරිත්‍යාගයක් සිදුකළේ ය. 2015 වසරේ සිට 2021 වසර දක්වා මෙම වැඩසටහන සඳහා  CICT සහ CMF විසින් පරිත්‍යාග කරන ලද මුදල රු. මිලියන 41 කි. මීට අමතරව ජාතික අක්ෂි රෝහල සමග එක්වී “C-Blue Restore Sight” ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමටද CICT සහ CMF කටයුතු කළේ ය. මෙමගින් ඇසේ සුද මතුවීමේ තත්ත්වයට මුහුණ දී සිටි රෝගීන් 400 කට අධික පිරිසකට නැවත පෙනීම ලබාගැනීමට අත්වැලක් ලැබිණි.