CIFL තැන්පත් මුදල් පිල්ලි ගැසූවන්ට මහ බැංකුවෙන් නඩු

    December, 5, 2017

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුසදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යාම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 නොවැම්බර් 06 වන දින තීරණය කරන ලදී.

    ආයතනයේ දුර්වල කළමානකරණය සහ කළමනාකාරීත්වය විසින් සිදුකළ අක්‍රමත් ගනුදෙනු නිසා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2013 වර්ෂයේ සිට බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටියි. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් ව්‍යාපාරයේ වත්කම්වල වටිනාකම වංචනික වැඩි අගයකින් පෙන්වා ඇති අතර එම වත්කම් ව්‍යාජ හෝ වෙනත් බැඳීම්වලට යටත් බව, හ් හා සම්බන්ධ ලේඛන පරීක්ෂාවට ලක් කිරීමේ දී අනාවරණය වී ඇත.

    සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2017 වර්ෂයේ සිට ව්‍යාපාර කටයුතුවල යෙදී නොමැති අතර මෙම කාලය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, මෙම ආයතනයේ ආයෝජනය කර ව්‍යාපාර කටයුතු යථාතත්ත්වයට පත් කිරීම සඳහා උනන්දුවක් දැක්වූ විවිධ දේශීය සහ විදේශීය ආයතන/ පුද්ගලයින් ගණනාවක් සමඟ සාකච්ඡා කරන ලදී. මෙම ආයතනයේ ව්‍යාපාර කටයුතු යථාතත්ත්වයට පත් කිරීමේ ඕනෑම සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ වශයෙන් රුපියල් බිලියන 3 ක පමණ ආයෝජනයන් අවශ්‍ය වන අතර, පසුගිය වසර 4 ක පමණ කාලයක සිට තැන්පතු මුදල් හෝ ඒ හා සම්බන්ධ කිසිම පොලී මුදලක් තැන්පත්කරුවන්ට ගෙවා නොමැති බැවින් තැන්පතු මුදල්වලින් අවම වශයෙන් 30-40% ක ප්‍රමාණයක් හෝ ඉතා ඉක්මනින් ආපසු ගෙවිය යුතු බව මුදල් මණ්ඩලය තවදුරටත් පැහැදිලි කිරීමට අදහස් කරයි. එමෙන්ම නව ආයෝජකයන් විශ්වාසදායී විය යුතු අතර, විදේශීය ආයෝජකයින් නීත්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව වෙත මුදල් සම්ප්‍රේෂණය කළ යුතුය.

    මෙම ආයතනයේ මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 3.5 ක් පමණ වන අතර, මුළු තැන්පත්කරුවන්ගේ ප්‍රමාණය 4,092 ක් පමණ වේ. එම තැන්පත්කරුවන්ගෙන් 2,501 ක ප්‍රමාණයක තැන්පතුවල වටිනාකම රුපියල් 600,000 ට අඩු වේ. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල යටතේ දැනට පවතින රෙගුලාසිවලට අනුව තැන්පතු රක්ෂණාවරණයෙන් එක් තැන්පත්කරුවෙකුට ලැබෙන රක්ෂණ ආවරණයේ උපරිම මුදල් ප්‍රමාණය රු. 300,000 ක් වන අතර, මුදල් මණ්ඩලය විසින් කුඩා තැන්පත්කරුවන්ගේ තත්ත්වය සලකා බලා ගෙවිය හැකි උපරිම රක්ෂණ මුදල් ප්‍රමාණය රු. 300,000 සිට රු. 600,000 දක්වා දෙගුණයක් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගෙන් 61% ක පමණ ප්‍රමාණයකට සිය සම්පූර්ණ තැන්පතු මුදල ආපසු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදනවලට අනුව එම පනතේ සඳහන් කාලපරිච්ඡේදය තුළ බලපත්‍රය අවලංගු කිරීමේ නිවේදනයට එරෙහිව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට මුදල් මණ්ඩලය වෙත විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව එම ආයතනයේ තැන්පත්කරුවන්ට සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මෙමගින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම ආයතනය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලද ආයෝජකයකු වෙත අරමුදල් ඇති බව තහවුරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදුන් කාලසීමාව ද අවස්ථා කිහිපයක දීම දීර්ඝ කළ ද, එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ආයෝජකයා මෙතෙක් සමත් වී නැත.

    ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සිටි ෆිනෑන්ස් කොපරේෂන් ලිමිටඩ් යන ආයතන සම්බන්ධව නිරාකරණය විය යුතු නෛතික ගැටළු පවතින බැවින්, මුදල් මණ්ඩලය විසින් එම ආයතන වෙත බලපත්‍ර අවලංගු කිරීමේ නිවේදන නිකුත් කර නොමැත.

    තවද, මෙම ආයතනයන් හා සිදුව ඇති අක්‍රමිකතාවලට සහ තැන්පත්කරුවන්ගේ මුදල් අවභාවිතයන්ට වගකිව යුතු සියලු පාර්ශවවලට එරෙහිව ගත හැකි සියලූම නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේ දී කටයුතු කරනු ලබන බව ද දන්වා සිටී.