CIFL බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයි

    March, 6, 2018

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමෙහි සිදුව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකරණ දුර්වලතා හේතු කොටගෙන දැඩි මූල්‍ය ගැටළුවලට පසුගිය වසර හතර පුරාම සිය තැන්පතු මුදල් නැවත ලබාගැනීමට අපොහොසත් වී ඇති අතර, විවිධ උපක්‍රම හරහා ආයතනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇත. වර්තමානයේ පවතින තත්ත්වයෙන්ම මෙම සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාම තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශවයන්ගේ යහපතට තවදුරටත් හානි වනු ඇත.

    මෙම තත්ත්වයන් සලකා බලා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත නිකුත් කරන ලද බලපත්‍රය, 2018.03.25 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව, එම දිනයේ සිය බලපැවැත්වෙන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසරයක් නොමැත.