COVID-19 අර්බුදයෙන් පාසැල් යෑම අහිමිවූ සිසුන්ගේ ඉගෙනීම වෙනුවෙන් හෙඞ්ස්ටාර්ට් සමාගම Guru.lk ප්‍රවේශය පුළුල් කරයි

    April, 1, 2020

    පුද්ගලික ටියුෂන් පන්ති ඇතුළු අධ්යාපන ආයතන සඳහා ශ්රී ලංකාවේ විශාලතම ඩිජිටල් ඉගෙනුම් පද්ධතිය ලබාදෙයි

    ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් අධ්‍යාපන පද්ධතිය වන Guru.lk විසින් COVID-19  වෛරසය හේතුවෙන් දෛනික ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට නොහැකිවී තිබෙන පාසැල් සහ ටියුෂන් ආයතනවලට ඉගෙනීමේ කටයුතු සඳහා සිය ඩිජිටල් විෂයය අන්තර්ගතයන් වෙත ප්‍රවේශවීමේ පහසුකම් ලබාදෙන බව නිවේදනය කර තිබේ.

    මේ අනුව, පාසැල් සහ ටියුෂන් ආයතන වලට Guru.lk ඩිජිටල් පද්ධතිය ඔස්සේ සිසුන් සමග සම්බන්ධ විය හැකි අතර මේ තුළින් පවතින තත්ත්වය සමනය වනතුරු දුරස්ථව සිට සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකළ හැකිබව Guru.lk වෙබ් අඩවිය අයත්වන හෙඞ්ස්ටාර්ට් (ප්‍රයිවට්) ලිමිටඞ් සමාගම සඳහන් කරයි.

    ගුරුවරුන්ට මෙම පද්ධතිය ඔස්සේ සජීවීව දේශන පැවැත්විය හැකි අතර තම දේශන මෙම පද්ධතියට ඇතුළත් කිරීමේ හැකියාවද තිබේ. මෙහිදී, සිසුන්ගෙන් ප්‍රශ්න විමසීමේ හැකියාව තිබෙන අතර ඒවාට පිළිතුරු ලබාදීම සහ සිසුන්ට ක්‍රියාකාරකම් ලබාදීම සහ කෙටි සටහන් ලබාදීමද මෙම පද්ධතිය මගින් ගුරුවරුන්ට සිදුකළ හැකිය. මීට අමතරව, මෙම පාඩම් පිළිබඳව සිසුන්ට එකිනෙකා සමග සාකච්ඡා කිරීමේ පහසුකම්ද මෙම පද්ධතිය මගින් ලබාදී තිබීම කැපී පෙනේ.

    මෙම නවතම වැඩසටහන පිළිබඳව හෙඞ්ස්ටාර්ට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, හසිත දෑල මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පදිංචි ස්ථාන, ජාති සහ සමාජ තත්ත්වයන් අනුව අධ්‍යාපනය සඳහා තිබෙන බාධක නැතිකර පුළුල් පරාසයක විහිදුණු අධ්‍යාපන සම්පත් ප්‍රමාණයක් වෙත ප්‍රවේශවීමේ අවස්ථාව ලබාදීම සඳහා අපි මෙම සමාගම ආරම්භ කළා. අපි අද දවසේ අළුත් අභියෝගයකට මුහුණ දී සිටිනවා. පාසැල් වසා තිබෙන නිසා ඉගෙනීම් කටයුතු කිරීම මේ වනවිට අඩාල වී තිබෙනවා. මේ නිසා, මෙම ගැටලුවට මුහුණදී සිටින මෙරට සියළුම සිසුන්ට අන්තර්ජාල ඉගෙනීමේ පහසුකම් ඇති කිරීමට අපි ඉදිරිපත් වී සිටිනවා.’

    මේ අනුව, ගුරුවරුන්ට Guru.lk පද්ධතියේ ලියාපදිංචි විය හැකි අතර කෙටි පණිවුඩ මගින් සිසුන්ට අන්තර්ජාල පන්ති සඳහා ආරාධනා කිරීමේ හැකියාව මෙහිදී ලැබේ. මෙහිදී, සිසුන්ට අනන්‍ය වූ ID එකක් මගින් මෙම පන්ති සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවේ.

    සිසුන්ට මෙම පාඩම් සඳහා ප්‍රවේශවීම සඳහා බ්‍රෝඞ් බෑන්ඞ් අන්තර්ජාල පහසුකමක්, ස්මාර්ට් ජංගම දුරකතනයක්, ටැබ් පරිගණකයක් හෝ පරිගණකයක් තිබිය යුතුවේ. මෙහිදී, ගුරුවරුන් ඉදිරිපත් කර තිබෙන අන්තර්ගතයන් සිසුන්ගේ උපකරණ වලට ඩවුන්ලෝඞ් කරගත හැකි අතර පසුව එම අන්තර්ගතයන් අන්තර්ජාල පහසුකම් නොමැතිව පරිශීලනය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. හෙඞ්ස්ටාර්ට් සමාගම විසින් සකස් කර තිබෙන වීඩියෝ ටියුටෝරියල් භාවිතා කරමින් ගුරුවරුන්ට තමන්ව හඳුන්වාදිය හැකි අතර තමන්ට පහසු ආකාරයෙන් අන්තර්ජාල පහසුකම් තිබෙන ඕනෑම ස්ථානයක සිට සිය පාඩම් මෙම පද්ධතියට ඇතුළත් කිරීමේ හැකියාව තිබේ.

    හෙඞ්ස්ටාර්ට් සහ Guru.lk මෙවැනි අන්තර්ජාල වැඩසටහන් දිවයින පුරා පිහිටි පාසැල් 250 කට වැඩි ගණනක සිදුකරමින් සිටින අතර ඒ සඳහා ඩයලොග් ආසිආටා සමාගම, මයික්‍රොසොෆ්ට් සමාගම සහ කොමර්ෂල් බැංකුව ‘ස්මාර්ට් ස්කූල්’ වැඩසටහන යටතේ සම්බන්ධවී සිටී. මෙම වැඩසටහන රජයේ පාසැල් සඳහා නොමිලේ සිදුකරන අතර පුද්ගලික පාසැල් හා ටියුෂන් ආයතන සඳහා සහන මිලකට සැපයේ. සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යංශය සහ ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාල සමග එක්ව ගුරුවරුන් 2000 කට වැඩි සංඛ්‍යාවක් තාක්ෂණය සමග ඉගැන්වීම සඳහා වසර තුනක කාලයක් තුළ පුහුණු කර තිබේ. ආසියා පැසිෆික් කළාපයේ වඩාත්ම සාර්ථක වැඩසටහනක් ලෙස මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම වැඩසටහන 2018 වසරේදී තෝරාගත් අතර තවත් එවැනි සම්මාන රැසක් දිනාගැනීමට මෙම වැඩසටහන සමත්වී ඇත.

    හෙඞ්ස්ටාර්ට් (ප්‍රයිවට්) ලිමිටඞ් සමාගම 2009 වසරේ සිට තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි පාසැල් විෂය නිර්දේශය සඳහා අන්තර්ගතයන් සකස් කරන අතර මෙම සමාගම ඩයලොග් ආසිආටා සමාගමට අනුබද්ධ සමාගමකි. තොරතුරු තාක්ෂණ ප්‍රදානයක් මගින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශය ඊ-ඉගෙනුම් ආකාරයෙන් පාසැල් වෙත ලබාදීම සඳහා ආරම්භ කළ තාක්ෂණින නැවුම් සමාගමක් වන ‘විදුණැන’ මෙම සමාගමේ ආරම්භයයි.

    සමාගම සතුව මේ වනවිට 650,000 කට වැඩි අධ්‍යාපන ලබන්නන්ට සේවා සපයන අතර  පාඩම් 1,100 කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදේ. මෙරට තිබෙන විශාලතම ඊ-ඉගෙනුම් අන්තර්ගතයන් පද්ධතිය වන්නේ මෙයයි. මෙයට අන්තර්ගතයන් එකතු කරන කණ්ඩායමට විශ්ව විද්‍යාල ගුරුවරුන්, පාසැල් ගුරුවරුන්, ව්‍යාපාරික නායකයින්, ආයතනික පුහුණුකරුවන්, මෘදු කුසලතා පුහුණුකරුවන් සිටින අතර අධ්‍යාපන අන්තර්ගතයන් ඉදිරිපත් කරන මෙරට විශාලතම අන්තර්ජාල කණ්ඩායම වන්නේද මෙම කණ්ඩායමයි.

    සමාගම විසින් පුද්ගලික අංශයට, ආයතන වලට, රාජ්‍ය අංශයට සහ සාමාන්‍ය මහජනතාවට Guru.lk සන්නාමය යටතේ ඊ-ඉගෙනුම් අන්තර්ගතයන් සහ පද්ධති විසඳුම් සම්පාදනය කරයි.