ඉන්දීය ක්‍රිකට් උමතුව ඇවිස්සීමට සිනමාකරුවෙකු සැරසෙයි

    June, 26, 2014

    ඉන්දියානුවන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ 1983 වසරේදී කපිල් දේව්ගේ නායකත්වයෙනි. ලෝඩ්ස් පිටියේ පැවති එම ජයග්‍රාහී තරගය අදටත් ඉන්දියානුවන්ගේ සිත්තුළ අමරණීය මතක සටහන් තබන්නට සමත්ව තිබේ.

    වාර්තා වන්නේ මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දීය සිනමාකරු සන්ජේ පූරන් සිං සැරසෙන බවයි.

    මෙම සිනමා පටය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන්නේ ක්‍රිකට් ආගමක්  මෙන් අදහන ඉන්දියානුවන්ට මීට දශක තුනකට පෙර පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කිරීම අතිශය උණුසුම් අත්දැකීමක් වූ බවයි.

    මේ නිසා, මෙම කතාව චිත්‍රපටයකට නැගීම මගින් දැවැන්ත ආදායම් වාර්තාවක් පිහිටුවිය හැකියැයි ඔහු විශ්වාසය පළකර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් 1983 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ නායකයා වූ කපිල් දේව් පවසා තිබෙන්නේ මේ පුවත අසා තමන් ඉමහත් ප්‍රමෝදයට පත්වූ බවත් චිත්‍රපටය අනිවාර්යෙන්ම තරුණ පරපුර කුල්මත් කරනු ඇති බවයි.