• Ada Derana BIZ Sinhala
  • DFCC Bank
  • sri lanaka

DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපායට සමගාමීව බලශක්තිය ඉතිරි කිරීමේ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවයි

July, 7, 2022

කාටත් ගැළපෙන බැංකුව ලෙස හැඳින්වෙන DFCC බැංකුව තම තිරසාරත්ව ක්‍රමෝපාය ඔස්සේ සියලුම දෙනාට අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. මෙම ක්‍රමෝපාය 2020 වසරේදී හඳුන්වා දෙන ලද්දේ, 2030 වසර වන විට මෙරට තුළ තිරසාරත්වයට ඉහළම දායකත්වයක් ලබාදෙන බැංකුව බවට පත්වීමේ දැක්ම පෙරදැරිව, ඉදිරි දශකය තුළ බැංකුවේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමේ අරමුණිනි.

මෙම තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ, 2020-2030 වසර වන විට කාබන්-ශූන්‍ය (Carbon Neutral) බැංකුවක් බවට පත්වීම, ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය සේවා සම්බන්ධයෙන් ප්‍රමුඛතම තේරීම බවට පත්වීම සහ 2030 වසර වනවිට තිරසාර රාජකාරි ජීවන රටාවකට හුරුවීම යන ප්‍රධාන ඉලක්ක ළඟා කරගැනීමට DFCC බැංකුව උත්සාහ දරයි.

බලශක්ති කාර්යක්ෂමතාව සහ විදුලිය ඉතිරිකිරීම යනු, කාබන් උදාසීන බැංකුවක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ දෙකක් බවට DFCC බැංකුව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින බලශක්ති අර්බුදය හමුවේ මෙය විශේෂයෙන් වැදගත් වේ. මේ අනුව, තම සමස්ත ශාඛා ජාලය පුරාම බලශක්තිය පිරිමැසුම්දායක ලෙස භාවිතා කරන අතරම, තම මෙහෙයුම් මගින් පරිසරයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා බැංකුව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. බලශක්තිය සුරකින අතරම දීර්ඝකාලීනව පුනර්ජනනීය බලශක්තිය භාවිතයට යොමුවීම බැංකුවේ තවත් අරමුණක් වී තිබේ.

‘DFCC Energy Saving App’ යනු, බලශක්තිය ඉතිරි කිරීම සහ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා DFCC බැංකුව භාවිතා කරන ප්‍රධානතම ක්‍රමවේදයන්ගෙන් එකකි. බැංකුව විසින්ම නිර්මාණය කරන ලද මෙම යෙදවුම, බැංකුවේ සමස්ත ජාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ පුරෝකථනය කිරීම සිදුකරයි. තවද පාරිසරික කළමනාකරණ පද්ධතියක් ලෙසද ක්‍රියාකරන එය, ‘Energy Dashboards’ හරහා විශ්ලේෂණය සඳහා දත්ත ලබාගැනීම, සකස් කිරීම හා ප්‍රදර්ශනය කිරීම සිදුකරයි. රටා හඳුනාගැනීම සහ වෙනස්කම් විශ්ලේෂණය කිරීම ඇතුළු තවත් විශ්ලේෂණ රාශියක්ද මෙමගින් දැකගත හැකි වේ.

“රට තුළ පවතින අභියෝග හමුවේ අපගේ බලශක්ති භාවිතය අවම කරගැනීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, අපගේ බලශක්ති අනුකමිටුව විසින් මේ බලශක්ති ඉතිරිකිරීමේ යෙදුම හඳුන්වා දෙනු ලැබුවා. එය අපගේ ජාලය තුළ බලශක්තිය භාවිතා වන ආකාරය සම්බන්ධයෙන් වටිනා තොරතුරු ලබාදෙනවා. මීට අමතරව, බලශක්තිය ඉතිරි කිරීම දිරිගන්වන තරග වැනි විවිධාකාර වැඩසටහන් ක්‍රියාවට නැංවීමටත් අප පියවර ගත්තා. බලශක්තිය ඉතිරි කිරීම සහ පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම තුළින්, මේ අතිශය වැදගත් ප්‍රයත්නයට අපගේ කාර්ය මණ්ඩලයේ උපරිම දායකත්වය ලබාගැනීමටත් අපට හැකි වී තිබෙනවා.” DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

2024 වසර වනවිට තම අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු වලදී කඩදාසි භාවිතය 100% ක්ම නැවැත්වීම සහ සමස්තයක් ලෙස  එය 50% කින් අඩු කිරීම DFCC බැංකුවේ ඉලක්කය වී තිබේ. මේ සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් අතරින් ප්‍රධානතම වැඩසටහන වන්නේ "Paperless Certification Program" නම් වැඩසටහනයි. මෙම වැඩසටහන යටතේ, බැංකුවේ සියලුම අංශයන් තුළ කඩදාසි භාවිතය අවම වශයෙන් 85% කින් අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහ, ඉන් අනතුරුව අදාළ ක්‍රියාවලි ස්වාධීනව පරීක්ෂාවන්ට ලක්කර කඩදාසි රහිත බවට තහවුරු කිරීමට දිරිගන්වනු ලැබේ. මෙයට බැංකුවේ කාර්ය මණ්ඩලයෙන් පුළුල් සහයෝගයක් ලැබුණ අතර, එමගින් වාර්ෂික කඩදාසි භාවිතය සැලකිය යුතු මට්ටමකට අවම කරගැනීමට හැකියාව ලැබිණි.

එමෙන්ම මේ වනවිට DFCC බැංකුව, කඩදාසි භාවිතයෙන් තොරව ඩිජිටල් ක්‍රමයට ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. මෙමගින් බැංකුවේ කඩදාසි භාවිතය තවදුරටත් අවම වනු ඇති අතරම, ගනුදෙනුකරුවන්ට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ගිණුම් විවෘත කිරීමට හැකි වනු ඇත.

DFCC බැංකුව මේ වනවිට කුරුණෑගල, මීගමුව සහ රාමනායක මාවත ශාඛාවල සූර්ය බලශක්ති පද්ධති සවිකර, ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් ශාඛා වලද එවැනි පද්ධති සවිකිරීමට සැලසුම් කර තිබේ. මේ නිසා පසුගිය වසර කිහිපය තුළ ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට බැංකුව හැකියාව ලැබිණි.

පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම සඳහා මූල්‍ය පහසුකම් සපයමින්, වඩාත් තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව මේ වනවිට කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. DFCC බැංකුව සිය හරිත මූල්‍ය සම්පාදන මෙහෙවර ආරම්භ කළේ 1988 දී සූර්ය PV මොඩියුල එකලස් කිරීමේ කම්හලකට අරමුදල් සැපයීමත් සමගිනි. ඊට අමතරව ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ ප්‍රථම පෞද්ගලික කුඩා ජලවිදුලි ව්‍යාපෘතිය මෙන්ම සුළං, සූර්ය සහ අපද්‍රව්‍ය-බලශක්තිය ව්‍යාපෘති සහ ජෛව ස්කන්ධ මත පදනම් වූ ඒකාබද්ධ තාප බල ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රාශියකට DFCC බැංකුව අරමුදල් සම්පාදනය කර තිබේ. තවද පියසි මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති රාශියක් සඳහා බැංකුව අරමුදල් සපයා ඇති අතර, 1997 වසරේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතිගත බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් හඳුන්වා දීමට ද පුරෝගාමී විය. එය අද දක්වාම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන සඳහා අදාළ වන වැඩ රාමුවේ මූලික පදනම ලෙස සැලකේ.