DFCC බැංකුව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙරට මෙහෙයුම්වලින් කොටසක් අත්පත් කරගනී

    November, 12, 2025

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කීර්තිමත් ගෝලීය බැංකු සමාගමක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙරට Wealth සහ Retail මුල්‍ය සේවාවන් අත්පත් කර ගැනීමට DFCC බැංකුව අද (12) දින ගිවිසුමකට එළඹ තිබේ.

    ඒ අනුව මෙම යෝජිත ව්‍යාපාර අත්පත් කර ගැනීම හරහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් මෙරට ක්‍රියාත්මක් කළ ප්‍රමුඛ බැංකුකරණ සේවා, ක්‍රෙඩිට් කාඩ්පත්, පුද්ගලික ණය දීම්, තැන්පතු, සුළු හා මධ්‍ය පරිමාණ බැංකු සේවාවන් DFCC බැංකුව යටතට පත්වනු ඇත.

    මේ සම්බන්ධයෙන් DFCC බැංකුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සඳහන් කරන්නේ මෙය රු. බිලියන 3.7ක ගනුදෙනුවක් බවයි.

    ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට නිරත මෙහෙයුම් අංශ කිහිපයකින් ඉවත් වීමට තීරණය කර තිබෙන බව පසුගිය මාර්තු මාසයේ දී නිවේදනය කර තිබුණි. සිය සමූහයේ මූලෝපායික තීරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ Wealth සහ Retail අංශ විකිණීම වෙනුවෙන් අවස්ථාවක් සොයමින් පසුවන බවත්, ඒ සඳහා මාස 15 - 18 ක පමණ කාලයක් ගතවනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම්දීමක් කරමින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව එහිදී කියා සිටියේය.