DFCC බැංකුව 2024 WCIC කාන්තා ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල බලගන්වයි

    April, 19, 2024

    කාන්තාවන් වෙත මූල්‍ය සේවාවන් සැපයීම තුළින් ඔවුන් සවිබල ගැන්වීමට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 2024 WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා (Diamond Sponsor) සහ බැංකුකරණ හවුල්කරු ලෙස කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ශක්තිමත් කරන අතරම රටේ ආර්ථිකය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාව අගය කිරීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි. උත්කර්ෂවත් අන්දමින් පැවති මම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සහ සාක් කලාපයේ විශිෂ්ට තම ව්‍යවසායිකාවෝ රැසක් ඇගයීමට ලක්වූහ.

    මෙරට ව්‍යවසායකත්ව, ව්‍යාපාරික සහ වෘත්තීය කාන්තාවන් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women's Chamber of Industry and Commerce - WCIC) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. මෙහි බැංකුකරණ හවුල්කරු ලෙස DFCC ‘ආලෝකා’ කටයුතු කිරීම, සම්මානවලට නිර්දේශ වූ කාන්තාවන්ට සහ ජයග්‍රාහිකාවන්ට ශක්තියක් වීමට අමතර සම්මාන උළෙලේ පිළිගැනීම තවදුරටත් වර්ධනය කළ සාධකයක් විය. සම්මාන උළෙලට අත්වැලක් වීමට අමතරව, කාන්තාවන්ට මූල්‍යමය කටයුතු සම්බන්ධ මගපෙන්වීම් හා සේවාවන් ලබාදීමටද DFCC බැංකුව මෙහිදී කටයුතු කළේ ය. මෙය එම කාන්තාවන්ට තම ක්ෂේත්‍රයන්හි සෙසු සාමාජික සාමාජිකාවන් සමග සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, තම ව්‍යාපාර සහ වෘත්තීය කටයුතු දියුණු කරගැනීම සඳහා ලැබුණු අගනා අවස්ථාවක් විය. මෙවැනි පියවර ඔස්සේ රටේ ආර්ථික සංවර්ධනයට හා සමෘද්ධියට දායක වීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.

    “WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල සමග අප ඇතිකරගෙන තිබෙන මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා අප දරන පුළුල් උත්සාහයේ තවත් ප්‍රතිඵලයක්. මේ විශිෂ්ට කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරන මේ මොහොතේ, අපගේ ආර්ථිකය හා සමාජය තුළ කාන්තාවන් ඉටුකරන කේන්ද්‍රීය භූමිකාව අපට නිතැතින්ම සිහිපත් වනවා. අප මෙවැනි වැඩසටහන් සඳහා සහය ලබාදෙන්නේ, සෑම කාන්තාවකටම තම හැකියාවන් තුළින් සාර්ථකත්වය ළඟා කරගැනීමට හැකිවන තිරසාර හා අන්තර්කරණය වූ අනාගතයක් බිහිකරගත යුතු ය යන විශ්වාසය මුල්කරගෙනයි. මෙය අප හඳුන්වා දී ඇති සේවාවන් තුළින් මෙන්ම, සමස්තයක් ලෙස කාන්තාවන්ට මූල්‍ය ස්වාධීනත්වය හා සමෘද්ධිය ළඟා කරගැනීමට අප දක්වන සහයෝගය තුළින් මැනැවින් නිරූපණය වනවා. DFCC බැංකුව වෙනුවෙන් මා WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලේදී ජයග්‍රහණ හිමිකරගත් සියලුම දෙනාට මගේ සුබපැතුම් පිරිනමන අතර, සැබෑ වෙනසක් ඇතිකිරීම සඳහා උත්සාහ දරමින් සිටින සියලුම කාන්තාවන්ගේ එම ප්‍රයත්නයන් අගය කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

    WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලට සමගාමීව DFCC බැංකුව විසින් විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ ඇගයීමට ලක්කරන ලද අතර, රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමේ උත්සාහය තුළදී විවිධත්වය සහ අන්තර්කරණය තහවුරු කිරීමේ වැදගත්කමද අවධාරණය කරන ලදි. කාන්තාවන් අතර මූල්‍ය සාක්ෂරතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් DFCC ‘ආලෝකා’ විසඳුම මෙම දැක්ම මැනැවින් නිරූපණය කරයි. කාන්තාවන්ට තම ජීවිතයේ විවිධ අවධීන් තුළදී පැනනගින විවිධාකාර අවශ්‍යතාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කර ඇති DFCC ‘ආලෝකා’ විසඳුම, මූල්‍ය ස්වාධීනත්වය හා සමෘද්ධිය කරා යන ගමනේදී ඔවුන්ට නොසැලෙන අත්වැලක් වන විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ.