‘DIMO Agribusinesses’, තෙවැනි කෘෂි තාක්ෂණික උද්‍යානය පිහිටුවමින් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ව්‍යාප්ත වෙයි

    July, 10, 2020

    ඩීමෝහි කෘෂි කාර්මික ව්‍යාපාර සඳහා වූ DIMO Agribusinesses, සිය කෘෂි කාර්මික පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාවේ කඳුරට ප්‍රදේශයට ව්‍යාප්ත කරමින් එහි තුන්වැනි කෘෂි තාක්ෂණික උද්‍යානය පසුගියදා ලිඳුළ ප්‍රදේශයේ විවෘත කර තිබේ.

    කඳුරට තෙත් කලාපයේ, හැටන්-නුවර එළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති අක්කර 25 ක මෙම බහු-කාර්ය මධ්‍යස්ථානය තේ වගාවකින්, වගා උමංවලින්, හතු හා එළවළු නිෂ්පාදන/සැකසුම් අංගනවලින්, වියළි හා සිසිල් ගබඩා පහසුකම්වලින් මෙන්ම පටක රෝපණ පර්යේෂණාගාරයකින් ද සමන්විතය.

    DIMO Agribusinesses හි පළමු කෘෂි තාක්ෂණික උද්‍යාන ද්විත්වය, මූලික වශයෙන් පර්යේෂණ කටයුතු, බීජ නිෂ්පාදනය, ගොවීන් දැනුවත් කිරීම හා පුහුණු ක්‍රියාකාරකම් සිදු කරමින්, මැද රට දඹුල්ල ප්‍රදේශයේත් පහතරට නිකවැරටිය ප්‍රදේශයේත් පිහිටා තිබේ. කෘෂි ක්ෂේත්‍රය ආශ්‍රිත අගය එකතු කළ භාණ්ඩ වෙළෙඳ පොළට ප්‍රවිශ්ඨ වීම සඳහා මෙම තාක්ෂණික උද්‍යාන එකතු කිරීමේ, නිෂ්පාදනයේ හා ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ලෙසින් යොදා ගනු ලබයි.

    “කෘෂි ක්ෂේත්‍රයේ අගය එකතු කරන ලද ව්‍යාපාර වෙතට යොමු වීමේ තවත් පියවරක් වන නිසාම මෙය ආඩම්බරයට පත් විය හැකි මොහොතක්.” යනුවෙන් ඩීමෝහි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

    “කෘෂි කර්මාන්තය සඳහා භාවිත කරන යන්ත්‍රසූත්‍ර, වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් දශක කිහිපයකට පෙර ඩීමෝ දේශීය කෘෂි ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූ අතර, වසර කිහිපයකට ඉහතදී කෘෂි යෙදවුම් වෙළෙඳ පොළට ඇතුළු වීමටත් අප සමත් වුණා. වර්තමානය වන විට, දේශීය කෘෂි ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා අවස්ථාවන් රාශියක් උදා වී තිබෙනවා. එනිසා, රටේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සෑම පැතිකඩක් තුළම  මෙලෙස ඩීමෝහි පැවැත්ම සනිටුහන් කිරීම ඉතාමත් වැදගත්.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ඩීමෝ හි, විශේෂ කෘෂි ව්‍යාපෘති අංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියංග දෙමටාව මහතා ස්වකීය අදහස් දක්වමින් සඳහන් කළේ, “නවතම කෘෂි තාක්ෂණික උද්‍යානය මගින් දේශීය කෘෂි ක්ෂේත්‍රය නගා සිටුවමින් නුදුරු අනාගතයේදීම බීජ නිෂ්පාදනය, දෙමුහුන් බීජ නිෂ්පාදනය, පටක රෝපණ ශාක නිෂ්පාදනය, හතු නිෂ්පාදනය, එළවළු පළතුරු මල් හා තේ නිෂ්පාදනය ආදිය සිදු කිරීමට බලාපොරොත්තු වනු ඇතැ”යි යනුවෙනි.

    මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන, කෘෂි අංශය සඳහා නවතම තාක්ෂණය භාවිත කිරීමේ හා ගොවීන් සඳහා නවතම තාක්ෂණය හඳුන්වා දීම සඳහා වූ ආදර්ශ වගා බිම් වශයෙන් යොදා ගැනේ. අස්වැන්න කළමණාකරණය කිරීමේදී නවතම තාක්ෂණය යොදා ගැනීමට හා ගොවීන්ට නවතම වගා ක්‍රමවේද හඳුන්වා දෙන අතරම පුහුණුව ලබා දෙමින් හා වඩා උසස් කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට ඉඩකඩ සලසමින්, මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන කෘෂි ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ලෙසින් සංවර්ධනය කිරීමට නියමිතය.

    “මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන හරහා ප්‍රදේශයේ ගොවි ප්‍රජාව මගින් එළවළු හා පලතුරු වගා කිරීම සඳහා බාහිර වගාකරුවන් ජාලයක් බිහි කිරීමට DIMO Agribusinesses බලාපොරොත්තු වෙනවා. එම බාහිර වගාකරුවන් ජාලය මගින් සමාගම අගය එකතු කළ නිෂ්පාදන සඳහා අස්වැන්න මිලදී ගෙන, අවසාන නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳ පොළවල්වලට ඉදිරිපත් කිරීමට නියමිතයි.” දෙමටාව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම කෘෂි තාක්ෂණික උද්‍යානයන්හි පර්යේෂණ ක්‍රියාවලීන් පිළිගත් විදේශීය ආයතනයන් හා අත්වැල් බැඳ ගනිමින් ශක්තිමත් කිරීමටත් සැලසුම් කර තිබේ.

    “මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන මගින්, කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ඇතුළත් වීමටත් අපි සැලසුම් කරමින් සිටිනවා. කෘෂි කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සංචාරකයින්ට, කෘෂි තාක්ෂණික උද්‍යානයන්හි පිහිටි කබානා හෝ නිවාඩු නිකේතනයක නැවතී සිටින අතරතුර, සැබෑ කෘෂි කර්මාන්තය පිළිබඳව මෙන්ම ඒ හා බැඳුණු ජීවන රටාව පිළිබඳව අවබෝධයක් හා අත්දැකීමක් ලබා ගැනීමටත් එමගින් අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම, ඩීමෝ කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා අලෙවිසැල් හඳුන්වා දීමටත් අපි අදහස් කර සිටිනවා.” දෙමටාව මහතා තවදුරටත් පැවසීය.

    පළාත් මට්ටමින් කෘෂි ක්‍රියාකාරකම් සිදු කරන අතරතුර, මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන සියල්ල මගින්ම ජාතික මට්ටමේ කර්තව්‍යයන් සඳහාද සහයෝගය දක්වනු ලබයි.

    ඡායාරූප විස්තරය - ලිදුළ කෘෂි තාක්ෂණික උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඩීමෝ කළමණාකාරිත්වය

     

    වගා උමඟෙහි ඇතුළත ක්‍රියාකාරීත්වය පිළිබඳව ඩීමෝ කළමණාකාරිත්වයට පැහැදිළි කරන ප්‍රියංග දෙමටාව මහතා