• Ada Derana BIZ Sinhala
  • eChannelling
  • SLT-MOBITEL
  • sri lanaka
  • Tele-Channelling

eChannelling වෙතින් දුරස්ථව, පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට Tele-Channelling සේවාව හදුන්වාදෙයි

July, 15, 2022

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමගින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ටද ඉතාමත් පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

ඉහළම ප්‍රමිතියෙන් යුත් ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් ශක්තිමත් කිරීමට eChannelling සෑම විටම උත්සාහ දරයි. එහි තවත් පියවරක් වශයෙන්, නවීනතම තාක්ෂණය භාවිතා කරමින් රෝගීන්ට දුරස්ථව හා පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ලබාදීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දෙන ලදි. තවද, මෙය වාර්තමානය තත්ත්වය අවබෝධ කරගනිමින් eChannelling විසින් ගන්න ලද වඩාත් කලෝචිත ක්රියාමාර්ගයක් ලෙස හැදින්විය හැකි.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති සමයේදී බොහෝ දෙනෙකුට ටෙලිමෙඩිසින් සේවාවන් මහඟු අත්වැලක් බවට පත්විය. එහිදී ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් ඔස්සේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාදෙමින්, රෝගීන්ගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින්, රටේ යහපත වෙනුවෙන් eChannelling සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේ ය.

COVID-19 අවදානම තරමක් දුරට පහව යාමෙන් අනතුරුව මේ ආකාරයට eChannelling App ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් දියත් කිරීමට eChannelling පියවර ගෙන තිබේ. මෙමගින් රෝගීන්ට වීඩියෝ ඇමතුමක් මාර්ගයෙන්, ලියාපදිංචි වෛද්‍යවරුන් වෙතින් උපදෙස් ලබාගැනීමට අවස්ථාව හිමි වී ඇත.

මෙම ටෙලි චැනලින් සේවාව ඔස්සේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොහොතක, ඒ මොහොතේ online සිටින ඕනෑම වෛද්‍යවරයෙකු සමඟ සජීවීව සම්බන්ධ වීමට මෙන්ම, අවශ්‍ය නම් කල්තබා වේලාව වෙන්කරගෙන විශේෂ වෛද්‍යවරයෙකු වෙතින් උපදෙස් ලබාගැනීමටද හැකියාව ලැබේ. මෙම සේවාව සමඟ සම්බන්ධ වී සිටින වෛද්‍යවරුන් වෙතින් මේ ආකාරයට දුරස්ථව උපදෙස් ලබාගත හැක.

රෝගියෙකු කිසියම් වෛද්‍යවරයෙකු හමුවීමට අවස්ථාව වෙන්කරවා ගත් විට ඒ බව අදාළ වෛද්යවරයාට SMS පණිවුඩයක් මගින් දැනුම්දීම සිදුකෙරේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයටම පහසු වන ආකාරයට වෛද්යවරයා විසින් වීඩියෝ ඇමතුමක් ලබා ගනිමින් අදාළ රෝගියා හා සම්බන්ධ වනු ඇත. මෙමගින් ඕනෑම මොහොතක, මෙරට මෙන්ම විදේශ රටවල සිටින රෝගීන්ටද උපදෙස් ලබාදීමට වෛද්යවරුන්ට හැකියාව ලැබේ.

අදාළ වීඩියෝ ඇමතුමට පැය දෙකකට පෙර සහ ඇමතුමෙන් පැය 24 ක් ඇතුළත  වෛද්‍යවරයා සමග චැට් මාර්ගයෙන් සම්බන්ධ වීමටද රෝගීන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සේවාව ඔස්සේ වෛද්‍ය වාර්තා සහ, මීට පෙර නිකුත් කරන ලද ඖෂධ නිර්දේශයන් වෛද්‍යවරයාට පෙන්වීමටද හැකියාව ලැබේ. වෙන්කරගත් වේලාවේදී වෛද්‍යවරයා අදාළ රෝගියා අවසන් වරට ලොග් වූ උපාංගයට ඇමතුමක් ලබාගනු ඇති අතර, රෝගියා පරීක්ෂා කර උපදෙස් ලබාදී අවසන් වනතුරු සැසිය ක්‍රියාත්මක වනු ඇත.

මීට අමතරව, සැසියෙන් පසුව වෛද්‍යවරයා විසින් අවශ්‍ය නම් රෝගියා වෙත ඖෂධ නිර්දේශ නිකුත් කරනු ඇති අතර, කිසියම් ගැටලුවක් වේ නම් පැය 24 ක් ඇතුළත වෛද්‍යවරයාගෙන් චැට් මාර්ගයෙන් එය විමසා නිරාකරණය කරගැනීමට රෝගියාට අවස්ථාව හිමි වේ. මෙම ක්‍රමවේදය වඩාත් ඵලදායී වීම සඳහා, වෛද්‍යවරයා සමඟ මීට පෙර සිදුකළ සංවාද පිළිබඳ විස්තරද අවශ්‍ය මොහොතක දැකබලා ගැනීමට පහසුකම් සලසා දී ඇත.

රෝගීන් භාවිතා කළ යුතු eChannelling App සහ වෛද්‍යවරුන් භාවිතා කළ යුතු eChannelling Pro app යන යෙදුම් දෙකම App Store සහ Play Store වෙතින් බාගත කළ හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු eChannelling නිල වෙබ් අඩවිය වන  www.echannelling.com හි දක්වා ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගමට අනුබද්ධ eChannelling PLC මෙරට විශාලතම චැනලින් සේවා ජාලය ලෙස සැලකෙන අතර, මේ වනවිට ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශිෂ්ට ඩිජිටල් ජීවන රටාවන් සදහාම වෙන්වූ සේවාවන් නංවාලීමට සූදානමින් සිටී.