eChannelling සමාගම CPM ‘Best Management Practices Company Awards 2024’ හිදී ඇගයීමට ලක්වේ

    March, 29, 2024

    SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් මෙන්ම දිවයිනේ විශාලතම චැනලින් සේවා ජාලයවන eChannelling PLC, පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2024’ හිදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබී ය. වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers - CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම ක්‍රමවේද භාවිතා කිරීම සහ නවෝත්පාදන සිදුකිරීම වෙනුවෙන් eChannelling වෙත මෙම සම්මානය හිමි විය.

    පූර්ණ සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වශයෙන් eChannelling සමාගම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට නවීනතම තාක්ෂණය මෙන්ම විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේද හඳුන්වා දීමට ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මෙම සම්මානය මගින් නැවත වරක් තහවුරු වී ඇත. ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය අංශ තුළ සමාගම් හා ආයතන අත්පත් කරගන්නා වර්ධනය හා සාර්ථකත්වය ඇගයීමේ අරමුණින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරේ.

    2023 වසරේදී සමාගම් හා ආයතන පෙන්නුම් කළ විශිෂ්ට නායකත්ව ලක්ෂණ, ක්‍රමෝපායික ප්‍රතිපත්ති, සාර්ථක මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද, ඵලදායී හවුල්කාරීත්ව, කාර්යක්ෂම සම්පත් භාවිතය,  විධිමත් ක්‍රියාවලි සහ විශිෂ්ට කාර්ය සාධනය ආදිය මෙවර සම්මාන උළෙලේ සම්මානලාභීන් තෝරාගැනීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගන්නා ලදි.

    ප්‍රධාන රෝහල්වල රෝගීන් පරීක්ෂාවට ලක්වීමේදී ඒ මොහොතේ අදාළ අංකය කුමක්ද යන්න දැනගැනීම පහසු වීම සඳහා eChannelling PLC විසින් හඳුන්වා දෙන ලද ‘Running Number System’ මේ වනවිට බෙහෙවින් සාර්ථක වී ඇත. නවලෝක රෝහල, ඩර්ඩන්ස් රෝහල, Centre for Diabetes Endocrinology and Cardio-Metabolism (CDEM), Golden Key, Ceymed, සෙත් සෙවණ, ගාලු සමූපකාර රෝහල, Channelled Consultation Centre (CCC), සහ ප්‍රධාන පෙළේ ඖෂධ අලෙවිසැල් රැසක මෙම ක්‍රමවේදය මේ වනවිට සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

    එමෙන්ම සෞඛ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් eChannelling PLC විසින් විද්‍යුත් ලදුපත් හෙවත් eReceipt ක්‍රමයක්ද හඳුන්වා දෙන ලදි. මෙමගින් රෝගීන් වෛද්‍යවරුන් හමුවීම, වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම, ඖෂධ මිලදීගැනීම සහ අනෙකුත් සෞඛ්‍ය සේවා ලබාගැනීම වැනි අවස්ථාවලදී ඉලෙක්ට්‍රොනික ලදුපතක් නිකුත් කෙරේ. මෙය රෝගීන්ට විශාල පහසුවක් මෙන්ම, කඩදාසි භාවිතය අවමකරන පරිසර හිතකාමී හා තිරසර පියවරක්ද වේ.

    තම එදිනෙදා කටයුතුවලදී සෑම විටම විශිෂ්ටතම ක්‍රමවේදයන් භාවිතා කිරීමට eChannelling PLC උත්සාහ කරයි. එය eChannelling සන්නාමයේ ජනප්‍රියත්වයට මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවන් තුළ සන්නාමය පිළිබඳ විශ්වාසය තහවුරු වීමට හේතු වී තිබේ. එමෙන්ම ඒ ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යහපත්කම් වෙනස්කම් සහ නවෝත්පාදන දිරිගන්වන ප්‍රමුඛතම සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට eChannelling PLC සමත් වී ඇත.

    මෙම ජයග්‍රහණය, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස SLT-MOBITEL සතු කීර්ති නාමය තවදුරටත් තහවුරු කරන සාධකයක්ද වේ. තම ප්‍රධාන ව්‍යාපාර කටයුතු සහ අනුබද්ධ සමාගම් සියල්ල තුළ විශිෂ්ටතම ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට SLT-MOBITEL සෑම විටම පියවර ගෙන ඇත.