EDEX Expo 2020 ප්‍රදර්ශනය අධ්‍යාපනික හා වෘත්තීය මගපෙන්වීමෙහි 17 වසරක විශිෂ්ටත්වය සමරයි

    January, 8, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo, යළිත් වරක් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ජනවාරි 24, 25 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදීත් පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 17 වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉකුත් කාලය තුළ, රටේ තරුණ පරපුරෙහි අනාගත අධ්‍යාපනික හා රැකියා අවස්ථා සඳහා අත්වැල සපයන ප්‍රදර්ශනයක් බවට පත්ව තිබේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා EDEX Expo කොළඹ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙයි.

    2004 වසරෙන් ඇරඹුණු EDEX Expo මේ වන විට, සාමාන්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක ස්වරූපයෙන් බැහැරව, ශ්‍රී ලාංකීය තරුණ පරපුරට ජාත්‍යන්තර වශයෙන් තරගකාරී මට්ටමට පත් වීමටත්, ජයග්‍රහණයේ ඉහළටම ළඟා වීමටත් උදව් වන, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රදර්ශනයක් බවට පත්ව තිබේ.

    ප්‍රදර්ශන කුටි 200 කට අධික ප්‍රමාණයකින් සමන්විත EDEX Expo, රටවල් 20 කට අධික ප්‍රමාණයක විශ්ව විද්‍යාල හා ආයතන සහභාගි කරවා ගනිමින්, ප්‍රධාන පෙළේ දේශීය හා ජාත්‍යන්තර ද්විතීයික අධ්‍යාපනික අවස්ථා උදා කර දෙන්නන් එකට මුණ ගස්වන ස්ථානයක් ලෙසින් පැවැත්වේ. ජපානය, ප්‍රංශය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, හා පකිස්තානය වැනි රටවල ප්‍රවේශය සමගින්, EDEX Expo ප්‍රදර්ශනය සඳහා ජාත්‍යන්තර සහභාගිත්වය තවදුරටත් වැඩි වීමේ ඉඩකඩ පවතී. එමෙන්ම බ්‍රිතාන්‍යය, රුසියාව, කැනඩාව හා ස්විට්සර්ලන්තය වැනි රටවල විශ්ව විද්‍යාලද, ඒවායේ අනුබද්ධ දේශීය විශ්ව විද්‍යාලද, ප්‍රදර්ශනයෙහි අගය තවත් වැඩි කිරීමට සමත් වෙයි.

    ප්‍රදර්ශනය රැකියා වෙළෙඳ පොළක්, වෘත්තීය උපදේශන මධ්‍යස්ථානයක් හා ව්‍යවසායකත්ව කලාපයක් ලෙසත් ක්‍රියාත්මක වේ. EDEX යටතේ, මේ වන විට‍ EDEX නැණපහන, EDEX සිතුවම් හා EDEX තින්ක් ග්‍රීන් වැනි සමාජ සත්කාරක ව්‍යාපෘති කිහිපයක්ද පැවැත්වේ.

    රැකියා සපයන්නන් හා රැකියා පිළිබඳ උනන්දු වන්නන් යා කරන EDEX රැකියා වෙළෙඳ පොළ,‍ ආර්ථිකයේ විවිධ අංශ නියෝජනය කරන ප්‍රධාන පෙළේ පිළිගත් ආයතනවල වෙළෙඳ කුටිවලින් සමන්විත වෙයි. මෙම වසරේ වැඩි පිරිසක් කරා ප්‍රදර්ශනය ගෙන යාමේ අරමුණින් එය මහනුවරදීද, පැවැත්වෙයි. edexcareers.lk මගින් රැකියා පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට ඒ සඳහා සිය අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද පවතී. ජාතික වෘත්තීය මාර්ගෝපදේශන සංගමය හා Psychometric Testing Centre එක්ව තරුණ පිරිසට අනාගත වෘත්තීන් සඳහා අත්වැල සපයන මාර්ගෝපදේශන සේවාවක්ද එහිදී පවත්වයි.

    මෙම ප්‍රදර්ශනය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, විදේශ රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍යාංශය,  මහවැලි, කෘෂිකර්ම, වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහයෝගය දක්වයි. එමෙන්ම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) හා ලංකා සේව්‍ය සම්මේලනය (EFC) ප්‍රදර්ශනය සඳහා අප හට උපාය මාර්ගික අනුග්‍රහය දක්වයි.

    EDEX Expo ප්‍රදර්ශනයේ ප්ලැටිනම් ප්ලස් කාණ්ඩයේ විශේෂ අනුග්‍රාහකත්වය, දෙවැනි වරටත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය (SLTC) විසින් දරනු ලබන අතර, ප්ලැටිනම් කාණ්ඩයේ අනුග්‍රාහකත්වය කොළඹ ජාත්‍යන්තර නාවුක සහ ඉංජිනේරු විශ්ව විද්‍යාලය (CINEC Campus) විසින් දරනු ලබයි. එහි රන් අනුග්‍රාහකත්වය ඇමරිකන් එඩියුකේෂන් සෙන්ටර් ලිමිටඩ් මගින්ද, නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට්, නවලෝක කොලේජ් ඔෆ් හයර් ස්ටඩීස්, Saegis කැම්පස්, ජාවා ඉන්ස්ටිටියුට් ෆෝ ඇඩ්වාන්ස් ටෙක්නොලොජි, ඔස්ට්‍රේලියන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි හා IMC AIC ස්ටඩී සෙන්ටර් මගින් සැලසේ. රැකියා වෙළෙඳ පොළ සඳහා මූලික අනුග්‍රහය සලසනු ලබන්නේ, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමයි. ඩිජිටල් මාධ්‍ය සහකරුවන් ලෙස ATOM මීඩියා ප්‍රයිවට් ලිමිටඩ්  සහයෝගය දක්වයි. සන්නිවේදන සහකරුවන් ලෙසින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමද, නිල මුල්‍ය සහකරු ලෙසින් එල්. බී ෆිනෑන්ස් හා නිල භාණ්ඩ ප්‍රවාහන සහකරු ලෙසින් අයි. එම්. එල් පුද්ගලික සමාගමද කටයුතු කරයි.

    මහජනතාව වෙනුවෙන් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙ.ව. 10.00 සිට ප.ව. 6.30 දක්වා නොමිලයේ විවෘතව පවතින අතර, ජනවාරි 24 හා 25 යන දිනවල පෙ.ව. 9. 30 සිට ප.ව. 6.00 දක්වා එය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වේ. www.edex.lk යන වෙබ් අඩවිය ඔස්සේ ඊට සහභාගි වීමට කැමති පිරිසට කල්තියා ලියාපදිංචි වීමේ හැකියාවද පවතී.

    වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0768 204 975 / 0115 521 497/ 0113 091 086 යන දුරකතන අංකවලින්ද, sales@edex.lk හා ops@edex.lk ඊ මේල් ලිපින මගින්ද, EDEX කාර්යාලය සම්බන්ධ කර ගත හැකිය.