EPF ආයෝජනයට සූදානම්

    January, 30, 2020

    සේවක අර්ථසාධක අරමුදල (EPF) පසුගිය සමයේ දී කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනයට සූදානමින් සිටියත්, ප්‍රමාණවත් පරිදි විශාල කොටස් පරිමාණ (parcels) වෙළෙඳපොළ තුළ නොතිබූ බැවින් එම අවස්ථාව මඟ හැරී ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පැවසීය. අද (30) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කර සිටි අතර වැඩිදුරටත් නියෝජ්‍ය අධිපතිවරයා පැවසුවේ, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය නොකර සිටීම පිළිබඳ තීරණයක් අරමුදල විසින් ගෙන නොමැති බවයි.

    එමෙන්ම බැංකු සමාගම්වල ආයෝජනය කිරීමේ දී මිල දී ගත හැකි උපරිම කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් සීමාවන් පවතින බැවින් සේවක අර්ථසාධක අරමුදල වර්තමානයේ දී බැංකු අංශයේ කොටස්වල සක්‍රීය වශයෙන් ආයෝජනය කරන්නේ නැති බව ද නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    “බැංකු අංශයේ සමාගම්වල ආයෝජනයේ දී සීමාකම් තිබෙනවා. මේ වන විට එම නිරාවරණය (Exposure) විශාලයි. එම නිසා ඒ අංශයේ ආයෝජනය කිරීමේ දී අපි ඉතා කල්පනාකාරී වෙනවා. බැංකු අංශයේ සමාගම් කොටස්වල ආයෝජනය කිරීම ආයෝජන කමිටුව විසින් ගත යුතු තීරණයක්. ආයෝජන කිරීමේ දී දැනටමත් අපිට ආයෝජන ප්‍රතිපත්තියක් තිබෙනවා. එය අභ්‍යන්තරික දෙයක්. ඒ පිළිබඳ ඇතැම් මාර්ගෝපදේශ තිබෙනවා. වෙබ් අඩවියට ගොස් ඔබට ඒවා බලන්න පුළුවන්. “

    මේ අතර පසුගිය කාර්තුව තුළ දී සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ කිසිදු ගනුදෙනුවක් සිදුකර නොමැති බව මාධ්‍යවේදියෙකු විසින් සඳහන් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “අර්ථසාධක අරමුදල පසුගිය කාර්තුව තුළත් කොටස් වෙළෙඳපොළට අවතීර්ණ වී සිටියා. නමුත් අරමුදලට ඇතැම් තෝරා ගත් කොටස් මිල දී ගැනීමට අවශ්‍යතාවය තිබුණත්, ඊට ගැලපෙන ප්‍රමාණවත් කොටස් පරිමාණ (parcels) අලෙවියට සූදානම් වෙලා තිබුණේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, අපි වෙළෙඳපොළේ සිටියේ නැහැ කියා. අපිට අපේ ප්‍රතිපත්ති, ධර්මතා හා උපක්‍රම තිබෙනවා. ඒවාට අනුකූලවයි අපි කටයුතු කරන්නේ. ආයෝජන කමිටුවේ උපදෙස් පරිදි දැනට අලාභ ලබා තිබෙන කොටස් ආයෝජන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා.“

    පසුගිය වසරේ මැයි 17 දින සේවක අර්ථසාධක අරමුදල විසින් මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි කොටස් මිලියන 55 ක්, එකක් රු. 9.00 බැගින් මිල දී ගත් අතර ඒ සඳහා රු. මිලියන 495 ක් ආයෝජනය කළේය. අද (ජනවාරි 30) වන විට ඩයලොග් කොටසක මිල රු. 12.50 කි. ඒ අනුව එම ආයෝජනයේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 680 ඉක්මවා තිබේ. මෙය පසුගිය වකවානුව තුළ දී සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකළ වඩාත් සාර්ථක මෙන්ම විචක්ෂණශීලී ආයෝජනයක් ලෙසින් සැලකේ. එම ගනුදෙනුවෙන් අනතුරුව සුවිශේෂී කොටස් වෙළෙඳපොළ ආයෝජනයක්, සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකර නොමැත.