EPF කොටස් වෙළෙඳපොළ ආයෝජන වටිනාකම මාස 03කදී රු. බිලියන 8.6කින් ඉහළට

    September, 21, 2020

    2020 ජූනි 30 කාර්තුව අවසානයේ දී සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 53.85 ක් ලෙසින් වාර්තාවේ. මෙම අගය 2020 මාර්තු 31 කාර්තුව අවසානයේ දී රු. බිලියන 44.97 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී අදාළ ආයෝජනවල වෙළෙඳපොළ මිල රු. බිලියන 8.61 කින් වර්ධනය වී තිබේ.

    මෙම කාලපරිච්ඡේදය තුළ දී සේවක අර්ථසාධක අරමුදල විසින් කර ඇත්තේ එක් නව ආයෝජනයක් පමණි. ඒ HNB බැංකු  සමාගමේ කොටස් 874,867 ක් සඳහා රු. මිලියන 136.91 ක ආයෝජනයක් සිදුකිරීමයි.

    කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ කර ඇති සමස්ත ආයෝජනවලින් තවදුරටත් පෙන්නුම් කරන්නේ අලාභදායීත්වයකි.

    2020 ජූනි 30 දින වන විට අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් 83 ක රු. බිලියන 84.19 ක ආයෝජනයක් සිදුකර ඇති අතර එදිනට එහි වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 53.58 ක් ලෙසින් දැක්වේ.

    2019 වසර අවසානය වන විට අරමුදලෙහි සමස්ත ආයෝජනයන්ගෙන් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල කර තිබූ ආයෝජනය 3% කි.

    සේවක අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹ 2020 ජූනි 30 දිනට පහත පරිදි වේ.