EPF – බැඳුම්කර අභ්‍යන්තර පරීක්ෂණය තවදුරටත්

    January, 23, 2017

    2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් පිළිබඳ සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ අභ්‍යන්තර පරීක්ෂණයක් මේ වන විට සිදුකර ගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    මේ වන විට මුදල් මණ්ඩලයේ උපදෙස් මත 2016 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. මෙවැනි පරීක්ෂණයක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් සිදු කළ කටයුතු ද පරීක්ෂාවට ලක්වන හෙයින්, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙක් බාහිර ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන මෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙතින් ද ඉල්ලා ඇත.

    සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම එහි ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, පසුගිය මාස 06 ක කාලසීමාව තුළ මුදල් මණ්ඩලය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙකී ක්‍රියාමාර්ග මගින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වනු ඇත.