Exclusive -උතුරු අධිවේගියට දුන් දේශීය කොන්ත්‍රාත් අවලංගු කිරීමට සැරසෙයි

    February, 23, 2015

    ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීමට පසුගිය රජය විසින් දේශීය කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන තිබෙන්නේ තරගකාරී විවෘත ක්‍රමයකට නොවන නිසා එම කොන්ත්‍රාත් අවලංගු කිරීමට පියවර ගන්නා බව, මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග පැවසීය.

    අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට ඉදිකිරීම් අත්හිටුවා තිබෙන උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නැවත ආරම්භ කරන විට මෙම දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙනුවට විවෘතව තරගකාරීව දේශීය කොන්ත්‍රාත්කරුවන් කණ්ඩායමක් තෝරා ගැනීමට නව රජය කටයුතු කරන බවයි.

    “මෙම කොන්ත්‍රාත් ලබාදී තිබෙන්නේ කිසිදු විනිවිදභාවයක් නොමැතිවයි. අපි මෙම කොන්ත්‍රාත් අවලංගු කරනවා.“

    යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය රජය විසින් ජනාධිපතිවරණය ලංවෙත්ම කඩිමුඩියේ උතුරු අධිවේගී මාර්ග ව්‍යපෘතිය ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් වැයකිරීමට ඇස්තමේන්තු කර තිබුණු මුදල රුපියල් බිලියන 400 කට ආසන්න වේ.

    මෙහිදී, මාර්ගයේ පළමු කොටස කොළඹ පිටත වටරවුම් මාර්ගයේ එඬෙරමුල්ලෙන් ආරම්භ වී ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොතුහැර, කුරුණෑගල හරහා ගලේවෙල දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබුණු අතර මෙහි දුර කිලෝ මීටර් 120 ක් පමණ විය. මින් කිලෝ මීටර් 90 ක් පමණ ඉදිකිරීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් පස් දෙනෙකු තෝරාගෙන තිබුණු අතර දේශීය හා විදේශීය බැංකු වලින් මේ වෙනුවෙන් ණය ලබාගැනීමට මෙම කොන්ත්‍රාත්කරුවන් සැලසුම් කර තිබුණි.

    මෙහිදී, වේයන්ගොඩ දක්වා මුල් කොටස ඉදිකිරීමට සැලසුම් කර තිබුණේ ලෝක බැංකුවේ ණය ආධාර මතයි.

    උතුරු අධිවේගී මාර්ගයේ පළමු කොටසට කඳුරට අධිවේගී මාර්ගයද ඇතුළත් වන අතර එය පොතුහැරදී මෙම මාර්ගයට සම්බන්ධ වී රඹුක්කන, ගලගෙදර හරහා ගන්නෝරුව දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබුණු අතර මෙම කොටස කිලෝ මීටර් 55 කින් පමණ යුක්තය.

    ආයෝජනය අතින් ගත්තද, සංකීර්ණත්වය අතින් ගත්තද ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් මෙය සැලකිය හැකි අතර මෙය සම්පූර්ණයෙන්ම සැලසුම් කර තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් විසිනි.