Exclusive- මෙන්න රැල්ල! මාළු තහංචිය හමුවේ වෙනත් රටවල මාළු ලංකාව හරහා යුරෝපයට

    February, 20, 2015

    නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටුවීමත් සමග ලංකාව හරහා ඉන්දියාවේ සහ මාලදිවයිනේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට යැවීම වැඩිවී තිබෙන බව අනාවරණය වේ.

    අප වෙත අනාවරණය වන ආකාරයට ශ්‍රී ලංකාවේ ධජය සහිත යාත්‍රා අල්ලන මසුන් ශ්‍රී ලංකාවේ මසුන් ඇල්ලීමේ සහතිකය මත (Catch Certificate) යුරෝපා සංගමයට යැවූ අතර මෙම තහනම එල්ලවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මසුන් ඇල්ලීමේ සහතිකයටයි (Catch Certificate).

    මේ නිසා, යුරෝපා වෙළඳ පොළට මසුන් අපනයනය කරන මෙරට ඇතැම් සමාගම් මේ වනවිට සිදුකරන්නේ ඉන්දියාවේ සහ මාලදිවයිනේ මසුන් ඇල්ලීමේ සහතික (Catch Certificates) යටතේ එම රටවල ධීවර යාත්‍රා විසින් අල්ලන ලද මසුන් මෙරටට ගෙනවිත් ඒවා සකසා යුරෝපීය වෙළඳ පොළ වෙත අපනයනය කිරීමයි.

    මීට පෙරත්, මේ ආකාරයෙන් මෙරට සමාගම් මසුන් අපනයනය කළත් යුරෝපය විසින් ලංකාවට පනවා තිබෙන තහනම හේතුවෙන් ඉන්දියාවේ සහ මාලදිවයිනේ යාත්‍රා විසින් අල්ලන ලද මසුන් ලංකාව හරහා යුරෝපයට යැවීම වැඩිවී තිබෙන බව අනාවරණය වේ.

    නිසි නිරීක්ෂණයකින් තොරව මෙරට ධජය සහිත යාත්‍රා ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීමට විරෝධයක් ලෙස යුරෝපා සංගමය විසින් ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටවූයේ පසුගිය ජනවාරි 15 වනදා සිටයි.

    අප වෙත අනාවරණය වන ආකාරයට යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ගොඩනැගීම ඇතුළු යුරෝපා සංගමයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නව රජය ඉතාමත් ක්‍රියාශීලි ලෙස කටයුතු කරමින් සිටී.

    මෙම තහනමට පෙර මෙරටින් මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ යුරෝපා සංගමයට අපනයනය කළ අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමයයි.

    මේ තුළින් ලංකාව වාර්ෂිකව ලැබූ ආදායම ඩොලර් මිලියන 200 ක් පමණ විය.