Exclusive- වාණිජ බැංකු ප්‍රධානීන් කිහිප දෙනෙකුට ඉල්ලා අස්වන්නැයි දැනුම්දීම අභියෝගයට ලක්වන හැඩ

    March, 30, 2015

    මෙරට පුද්ගලික වාණිජ බැංකු කිහිපයක ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි මුදල් අමාත්‍යංශය විසින් කර තිබෙන දැනුම්දීම අභියෝගයට ලක්කරමින් අධිකරණයට යෑමට හැකියාවක් තිබෙනවාදැයි එක්තරා පාර්ශවයක් විසින් මේ වනවිට සලකා බලමින් සිටින බව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    මෙම පුද්ගලික වාණිජ බැංකුවල රජයට අයිති කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලබා තිබෙන ප්‍රධාන පෙළේ කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන්නැයි මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා දැනුම් දී තිබුණි.

    මෙම දැනුම් දීමට පසුව ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරය දැරූ සුනිල් විජේසිංහ මහතාත් හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරය දැරූ ආචාර්ය රාණි ජයමහ මහත්මියත් ඔවුන් දැරූ සභාපති තනතුරු වලින් ඉවත්විය.

    කෙසේවෙතත්, මුදල් අමාත්‍යංශය විසින් මෙවැනි දැනුම් දීමක් තවත් ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ප්‍රධානීන්ට කර තිබෙන බව අප වෙත අනාවරණය වේ.

    රජයට සම්බන්ධ විවිධ ආයතන විසින් මෙම පුද්ගලික වාණිජ බැංකුවල මිලදීගෙන තිබෙන කොටස් එකට එකතු කරමින් එම වාණිජ බැංකු පාලනය කිරීමට කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් අප වෙත නම හෙළි කිරීමට අකමැතිවූ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සඳහන් කළේය.

    ඔහු පෙන්වා දුන්නේ මෙම පුද්ගලික වාණිජ බැංකුවල ප්‍රධානීන් විශ්‍රාම ගැනීමට පෙර ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමට මුදල් අමාත්‍යංශයට බලය ඇද්දැයි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පැහැදිලි කිරීමක් කළ යුතු බවයි.

    මෙවැනි තත්ත්වයක් තුළ රජයේ එක් එක් ආයතන වලට මෙම බැංකු වල තිබෙන කොටස් එකතු කරමින් මුදල් අමාත්‍යංශය විසින් කර තිබෙන මෙම ඉල්ලා අස්වීමේ නිවේදනය අභියෝගයට ලක්කරමින් අධිකරණයට යෑමේ හැකියාවක් තිබෙනවාදැයි මේ වනවිට එක්තරා කණ්ඩායමක් සොයා බලමින් සිටී.


    ජාතික සංවර්ධන බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවන අතර හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක අයිතිය රජය සතුය.